මනම්පිටිය නිමල් ජයරත්න –
වසරක් පුරා බුලත් විට විකුණා ලබාගත් ආදායමෙන් ඉතිරි කරගත් මුදලින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය උදෙසා, උදෑසන හීල් දානයත් දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවකුත් පවත්වා අවුරුද්ද උදාවන අද (01) දිනයේ දි රටටත් ජනතාවටත් සෙත් පැතූ පින්වතෙක් ගැන දිඹුලාගලින් වාර්තා වේ.
සුනිල් සමරතුංග නැමැති මෙම පින්වතා ඔහුගේ බිරිඳ දූ දරුවන් මෙන්ම අසල්වාසීන් සමූහයත් ඒකරාශී කරගෙන, ඊයේ (31) ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පැමිණ තිබිනි.
ඔවුන් විසින් මහා සංඝරත්නයේ මගපෙන්විම මත සර්වරාතික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද සංවිධානය කර තිබිණි. එම ධර්ම දේශනා පින්කමින් අනතුරුව ලක්වාසී, ලෝකවාසී, සැමට ආශිර්වාදයද එක් කරමින් අද (01) උදෑසන ර මහා සඟරුවනට හීල් දානය සහ දහවල් දානමය පිරිනැමීමට කටයුතු කළහ.
“බුලත් විට වෙළෙඳාමෙන් ජීවත්වන සුනිල් සමරතුංග වැනි කුඩා ව්‍යාපාරිකයෙක් දෙසැම්බර් 31 වෙනිදාත් ජනවාරි පලවෙනිදාත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ගතකරමින් තමන් දිරිමත්ව උපයා ගත් මුදල් එකතු කර මෙවැනි පින්කමක් කිරීම රටේ සියලු ව්‍යාපාරික ප්‍රජාවට පූර්වාදර්ශයක් බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අනුශාසනාවක් සිදු කරමින් සඳහන් කළහ.







