ජනතාව විසින් විශ්වාස කර ලබා දුන් බලයට ගෞරවයක් දීම දේශපාලනයේ සදාචාරය බවත්, එවැනි කිසිම ඉඩක් ලබා නොදී රජය බාරගෙන සති එක හමාරක් පමණ කාලයක් ගතවන්නටත් පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ අයුක්ති සහගත විනාශකාරි ප්‍රහාරයක් ආරම්භ කර ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක් වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසන්නේ මේ හදන්නේ බීජය රෝපණය කළ අවස්ථාවේ පැලය මරා දමන්නට බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථාවර වුනහොත් මේ රට ගොඩයනවා පමණක් නොව තමන්ගේ දේශපාලන අනාගතය ද විනාශවන ආකාරය පිළිබඳ ඔවුන්ට හොඳ අවබෝධයක් ඇති බවත්ය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
” ඔවුන් මේ ආණ්ඩුව ලත් තැනම ලොප් කරන්න උත්සාහ කරනවා. ජනතාව විශ්වාස කරලා දීපු බලයට කාලයක් දෙන්න ඕන. අපේ මව් දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපිත් පාර්ලිමේන්තුව තුළත් පිටතත් දේශපාලනය කළා. අලුත් ආණ්ඩුවක් බලයට ආපු ගමන් අපි විවේචනවලට ගියේ නෑ. ආණ්ඩුව වැරදි බව ජනතාවටත් ඒත්තු ගැන්වෙන මොහොතක තමයි අපි විවේචන පටන් ගත්තේ.
ඒත් ඔබ දකින්න ඇති අපි පටන් ගත්ත මොහොත සිට ඒ අයගේ හැසිරීම. ඒ විවේචන සාධාරණ නෑ. යුක්ති සහගත නෑ. ජනතාව විශාල ජනවරමක් දුන්නට ඒ ජනවරමට ඔවුන් ඉඩක් දෙන්නේ නෑ. පටන් ගත්ත මොහොතේ සිට බිඳවට්ටන්න හදන්නේ . එකක් තමයි මේ අයගේ සැලැස්ම. ස්ථාවර වෙන්න නොදී වට්ටන්න. ස්ථාවර වුනොත් වට්ටන්න බෑ. මේ ඇටය පැල කළා විතරයි. දල්ල කඩලා දාලා විනාශ කරන්න හදන්නේ.
ඇයි මේක ස්ථාවර වෙන්න කලින් වට්ටන්න දහන්නේ. අපි ස්ථාවර වෙන්න වෙන්න එයාලගේ වංචා දූෂණ හෙළිදරවු කිරීම් ඉක්මනට එනවා. ඒවට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. වරප්‍රසාද අහිමි වෙනවා. අපි ක්‍රමානුකූලව මේ රට ගොඩ නගද්දි ඒ අයට බලය ගන්න හිතන්වත් බැරි වෙනවා. අන්න ඒ තත්තවයට යන්න නොදී මේ වට්ටන්න හදන්නේ.
මේ රටේ ආදරණීය ජනතාව ඒක තේරුම් ගන්න. අපි බලනවා අදාල පියවර ඒ විදිහට තබන්න.







