සූරියවැව නුවන් ජයසේකර –
.
වසර 30ක කාලයක් සදහා බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති රුහුණු කතරගම මහා දේවලයට අයත් බුත්තල ප්රදේශයේ පිහිටි ඉඩම බදු කාලය අවසන් විමට පෙර එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය විසින් කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයාට ලබා දී තිබු අතුරු තහනම් නියෝගය නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා යළි ජනවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කරන ලදි.
කතරගම දේවාලයට අයත් බුත්තල ප්රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩමක් මෙරට ප්රකට සමාගමක් විසින් 2008 වසරේදී 30 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන ඊට අදාල බදු මුදල් දේවාලයට ගෙවමින් භුක්ති විදිමින් සිටියදී එම සමාගම විසින් තවත් මෙරට ප්රකට කෙසෙල් නිශ්පාදනය කරන සමාගමක් සමග එක්ව වගා ගිවිසුමකට එළඹ මේ වන විට එහි වගා කටයුතු කරගෙන සිට ඇත.
එහිදී රුහුණු කතරගම මහා දේවාලයේ වත්මන් බස්නායක නිළමේවරයා විසින් මෙම බදු ඉඩමට අදාලව බදුකරු විසින් හිඟ බදු මුදල් ගෙවා නොමැති බව පවසමින් අදාල බදුකරු සමග ගිවිසුමකට එළඹ සිටින අනිත් පාර්ශවයට ඍජුවම බස්නායක නිළමේ වරයා විසින් අදාල ඉඩම බදු දිමට තීරණය කර තිබුණි.
ඒ අනුව අදාල ඉඩම බදු ලබාගත් සමාගම විසින් කතරගම බස්නායක නිළමේ වරයාට එරෙහිව නුගේගෝඩ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරමින් කරුණු සැළකර සිටියේය.
ඒ අනුව පසුගිය 03 වන දින නඩුව නුගේගොඩ දිසා අධිකරණයේ කැඳුවු අවස්ථාවේ ඉඩම බදු ලබාගත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සදුන් සේනාධිපති විසින් අධිකරණයට කළ කරුණු දැක්විම සැළකිල්ලට ගත් නුගේගොඩ දිසා විනිසුරුවරයා බදුකරු අදාල ඉඩමෙන් නෙරපා නොහරින ලෙසත්, වෙනත් පාර්ශවයකට ඉඩම බදු දීමක් හෝ වෙනත් කිසිදු පැවරිමක් සිදු නොකරන ලෙසත් හා එහි සිදුවන කටයුතුවලට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසටත් නියෝග කළේය.
අනතුරුව විනිසුරුවරයා කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර වෙත 2024.12.17 වන දින දක්වා අතුරු ඉන්ජන්සන් ආඥාවක් නිකුත් කළේය. ඒ අනුව නඩුව යළි පෙරේදා (17) කැඳවු අවස්ථාවේ කතරගම බස්නාය නිළමේවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නීතීඥවරිය අධිකරණයට කරුණු දක්වමින් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඇයැද සිටියේය.
ඒ අනුව දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා විනිසුරුවරයා නඩු විභාගය 2025.01.28 දින දක්වා කල් තැබූ අතර එතෙක් බස්නායක නිළමේවරයාට නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරුණි.







