රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ දී ඒ සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රටේ ආන්දෝලනයට තුඩු දුන් මිත්රෝපකාර ගනුදෙනුවක් සමබන්ධ කුප්‍රකට කතාවට සම්බන්ධ ව්‍යාපාරිකයා සතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක් නොලත් දිවස ෆාමා කලම්බො කියන සමාගමින් බවත් එම සමාගමින් ඇන්ටිජන් කට්ටල මිලියන දෙකක් මිලදී ගැනීම සඳහා මහජන මුදලින් රුපියල් බිලියන 2.2ක් වැය කර ඇති බවත් අද සෞඛ්‍ය හා ජනමාද්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
ඔහු අද හෙළි කළේ රටම මරණ බියෙන් ගිලගත් වසංගත සමයේ දී කොවිඩ් එන්නත් සහ ඇන්ටිජන් කට්ටල මගින් සිදුකළ අල්ජ්ජී වංචාවක තොරතුරුය. වසංගත සමයේ දී දල වශයෙන් රුපියල් බිලියන 3.2ක වියදමක් දරා තිබුණි. ඉන් බිලියන 2.2ක් වියදම් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ දිවස ෆාමා කලම්බො ආයතනය වෙතය.
පීසීආර් කට්ටල සඳහාත් රුපියල් බිලියන 3.2ක් වියදම් කර තිබිණි. පීසීආර් කට්ටල සඳහා සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සඳහා රජය වියදම් කළ මුළු මුදල රුපියල් මිලියන 6422කි. දළ වශයෙන් බිලියන 6.4කි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇසූ ප්‍රශ්නයකට දීර්ඝ ලෙස පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නිලින්ද ජයතිස්ස මෙසේ ද පැවසුවේය.
මේ මිලදී ගැනීම්වලදි එන්එම්ආර්ඒ ලියාපදිංචි වූ සමාගම් කවරේ ද කියලා. මෙතන සමාගම් 26ක් තියනවා. මේ සමාගම් 26 අතරින් සමාගම් 07කින් පී.සී.ආර් සහ ඇන්ටිජන් මිලදී අරන් තියනවා. ජොර්ජ් ස්ටුවට් එක රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් සපයලා තියනවා. හැබැයි මේ රැපිඩ් ඇන්ටිජන් සැපයීමේ දී මිලියන 2ක ප්‍රමාණයක් සපයපු රුපියල් මිලියන 2200ක් රජය විසින් වියදම් කරපු දිවස ෆාමා කලම්බො කියන සමාගම NMRA ලියාපදිංචි සමාගමක් නොවෙයි.
ඒ අය ලියාපදිංචිය සඳහා ඉල්ලලා තියනවා 2021.06.01. නමුත් ඒ අයට ඒ අයගේ සුදුසුකම් සපුරලා නැති නිසා ලියාපදිංචිය ලබා දීලා නෑ. මෙතන පැහැදිලිවම පේනවා ඇන්ටිජන් වැඩිම ප්‍රමණයක්, මිලියන 02ක්, NMRA ලියාපදිංචි සමාගමක් නෙමෙයි.
මේ සම්බන්ධව අපි අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර මෙවැනි ප්‍රශ්න කිරීම් සහ පිළිතුරු සැපයීම් අවස්ථාවක් නිර්මාණය විය.
රවුෆ් හකීම් – එන්නත් පර්යේෂණ මට්ටමේ තිබෙද්දි ප්‍රසිද්ධ සමාගම් දියුණු මට්ටමක ඇවිත් ඇති අවධියක කලින් සිටම අඩු ගානකට එන්නත් ගැනීම පැහැර හැරීමක් කර තියන වග පැහැදිලි වෙනව ද?
නලින්ද ජයතිස්ස – මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියනවා. ලෝක වෙළෙඳපළේ තියන මිලට වඩා වැඩි මිලකට එන්නත් මිල දී අරන් තියනවා. ඒකත් ඇන්ටිජන් වලම කොටසක් බවයි පෙනෙන්නේ. අප තව මේ අමාත්‍යාංශය භාර ගෙන මාසයයි. තව ටිකක් කල් දෙන්න. ඔබතුමාට පොරොන්දු වෙනවා සාධාරණ පරීක්ෂණයක් වන බවට.
රවුෆ් හකීම් – සමහර සමාගම් NMRA ඇනවුම් කරීමට පෙර එන්නත් ටෙස්ට් කිරීම් අවදියේ තියෙද්දි ව්‍යතිරේකයක් ලෙස එම එන්නත් ගෙන්වන්න අනුමැතිය ලබා දී තියනව. එන්නත් අඩු මිලට ගෙන්වීමට ඉදිරිපත් වී ඇති සමාගම් වලට අනුමැතිය ලබා නොදී ඥාති මිත්‍රයින්ට උදව් කිරීමක් ලෙස වාගේ ඇතැම් සමාගම්වලට අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සම්බන්ධව රජය කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක් ද?.
නලින්ද ජයතිස්ස – වසන්ගතයට තමයි කට්ටිය මුවා වෙලා තියෙන්නේ. ලියාපදිංචි නොවූ සමාගම් වලින් කලින් ඇනවුම් කරන ලද දේවල් ගෙන්වලා තියෙන්නෙ කොවිඩ් මර්ධනයේ මුවාවෙන්. මම අර ලියාපදිංචි නොවූ සමාගම ගැන කිව්වා. ඔබතුමා අහන සහ රටේ ආන්දෝලනයට තුඩු දුන් සමාගමේ අනෙක් සමාගමේ අනෙක් සමාගම තමයි මේ ලියාපදිංචියක් නැතිව බිලියන 2.2ක මුදලක් රජය මගින් වියදම් කරලා තියෙන්නෙ. මේ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව සියලු තොරතුරු සභාගත කරන්න අප කටයුතු කරනවා.







