නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.
ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan) , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha), ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්(Puneet Agrawal), ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් (Anshuman Gaur) ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. 
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr. S. Jayashankar), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල්(Shri Ajith Doval)සමඟ අද (15) රාත්‍රියේ සාකච්ඡා කිරීමට ද නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.







