-
විද්‍යාත්මක ආරක්ෂක තක්සේරුවකින් තොරව මෙතෙක් මහින්ද රාජපක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් පොලිසිය දැරූ වාර්ෂික වැය බර රුපියල් තිස් දෙකෝටි හැට ලක්ෂයකට වැඩියි…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය සම්බන්ධව තීන්දුවක් ගනු ලැබුවේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ නිසි තක්සේරුවකින් පසුව බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එමෙන්ම වරින්වර රැස්වන කමිටුව ආරක්ෂක තක්සේරු වාර්තා කැඳවා ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද පොලිසිය පවසයි. එම නිවේදනයේ පෙන්වා දෙන්නේ අඩු කරනු ලැබුවේ පොලිස් නිලධාරින් පමණක් බවත් ත්‍රිවිධ හමුදා සන්නද්ධ සේවාවල නිලධාරීන් ද ඔවුන්ගේ ආරක්ෂාව සදහා යොදවා ඇති බවත්ය.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන පොලිස් මූලස්ථානය මෙම විශේෂ නිවේදනයක් නිකුත් කිරීමෙන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරුන් සඳහා පොලිසිය දරන වැය බර ද සමාලෝචනය කර ඇති අතර එම වැය බර වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් ඉක්මවා යන ආකාරය ය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බව ද පොලිසිය නිවේදනය කරයි.
දැනට පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය ඇති බව පොලිසිය පවසයි.







