නිශ්පාදන දත්ත ප්රකාරව රටේ පරිභෝජනය සඳහා පොල්වල කිසිම අඩුවක් තිබිය නොහැකි පරිසරයක පොල් හිඟයක් කෘත්රිමව ඇති කිරීම වැළැක්වීම සඳහා රජයේ පොල් වතු වලින් ලබා ගන්නා පොල් සතොස අලෙවිසල් ජාලය හරහා බෙදා හැරීමට කටයුතු කරන බව කර්මාන්ත ඇමති වසන්ත සමරසිංහ පැවසුවේය.
ඇමතිවරයා මේ පැහැදිලි කිරීම සිදුකරන්නේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්රි ඩි.වී.චානක මන්ත්රීවරයා දෛනික පොල් පරිභෝජනය ලක්ෂ 40ක්ව තිබිය දී සති දෙකකට වරක් ලක්ෂ 10ක් පොල් ගෙඩි නිකුත් කිරීමේ ප්රයෝජනය කුමක්දැයි විමසූ පැනයට පිළිතුරු දෙමිනි.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
රටේ පොල්වල ප්රශ්නයක් තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මේ පොල්වල හිඟයක් හදන්න හදන්නේ. මේ අවුරුද්දේ අපේ රටේ පොල් නිශ්පාදනයේ අපේක්ෂාව පොල් ගෙඩි මිලියන දෙදහස් හයසිය අසූ හතරයි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පොල් නිශ්පාදනයේ සියයට 14ක අඩුවක් තියනවා. ඒ නිසා අපේ රටේ පරිභෝජනයට තියන පොල්වල කිසිම අඩුවක් නෑ.
මේ මොහොතේ පොල් වෙළෙඳපලේ මාෆියාවක් හදන්න හදනවා. පොල් හිඟයක් හදන්න හදනවා. ඒකට මැදිහත්වීමක් ලෙස තමයි ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ.
අපි කරන්නේ රජය සතු වතුවල තියනවා පොල් නිශ්පාදනයක්. ඒ පොල් ටික ගෙනත් වෙළෙඳපලේ කර්මාන්තකරුවටත් ප්රශ්නයක් ඇති නොවන විදිහට වෙළෙඳපල හරහා බෙදන්න පටන් ගත්ත එක විතරයි. ඒකයි කිව්වේ මේ ලක්ෂ 10ක් කියලා. අපි වෙළෙඳපල තුළ පොල් ගෙඩිය 200ට යන එක නවත්වන්න අපි පොල් ගෙඩිය 130ට දෙනවා. මේ වනවිට ටෙන්ඩර් එකෙන් යන්නේ 110යි ගෙඩියක්. ඒ නිසා අපි 110ට යන ගෙඩිය ගෙනත් ලෙලි ගහලා කොළඹ සතොස ජාලා 140ක් තියනවා. ඒ හරහා බෙදා හරිනවා. තදාසන්න ප්රදේශවලටත් පොල් දෙනවා. අද පටන් ගන්නවා. මේ වනවිට ලක්ෂ 10 ලක්ෂ 15ක් දක්වා වැඩි කරලා තියනවා.
සති දෙකට බෙදන එක ප්රමාණවත් නැතිනම් බය වෙන්න එපා. අපි පොල් දෙනවා.







