ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී නමැත්තා බෙලරුස්හිදී අත්අඩංගුවෙන් නිදහස්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු මාසයේදී බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූයේ, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා විය.
එරට ආගමන විගමන බලධාරීන් විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද සමගින් බව වාර්තා වේ.
ඔහු මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද පසුගිය සතියේදී බෙලරුස් අත්අඩංගුවෙන් මෙසේ නිදහස්ව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහුගේ නිදහස් වීම සමරා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔහුගේ ගෝල බාලයන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර ඇති අතර ඩුබායි හිදී ඔහුගේ හිතවත් පාතාල කල්ලි සාමාජිකයන් විසින් සුපිරි සාදයක් ද පවත්වා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර, කංජිපානි ඉම්රාන් ද මේ වනවිට බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස්ව ඇති බව අනාවරණය වේ. ( කීර්ති මෙන්ඩිස් – මව්බිම)







