එල්.ටී.ටී තහනම් සංවිධානයක් බවත් එම සංවිධානයේ කිසිම සැමරුම් උත්සවයක් සඳහා රටේ නෛතික රාමුව තුළ ඉඩක් නැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය. යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීම වැලැක්වීම සඳහා රජයට කිසිම අයිතියක් නැතිවා සේම තහනම් සංවිධානයකට නීතියට පටහැනිව සැමරුම් පැවැත්වීමටත් ඉඩදීමට අවස්ථාවක් නැති බවය.
“ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම, ප්‍රචාරණය කිරීම, සංවිධානය කිරීම, ඊට අදාළ ලාංඡන, කොටි, බැනර්, සංකේත ප්‍රදර්ශනය කිරීම පිළිබඳව රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.”
“ඒ නිසා කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවල සැමරුම් සිදුකරන්න අයිතියක් නැහැ.”
“හැබැයි යම් තැනක තමන්ගේ මියගිය ඥාතීන් සමරනවා නම් පෞද්ගලිකව.. ඒකට බාධා කරන්න රජයට අයිතියක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා… ඥාතීන් සමරන්න ඒ අයට තිබෙන අයිතියට අපි ගරු කරන අතරේ වෙනත් ආකාරයක නීතිවිරෝධී කටයුතු සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.”
“තහනම් කරන ලද සැමරුම් පැවැත්වුණා නම් පොලීසිය පියවර ගනී. එවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. විටින් විට උතුරේ සමහර දේශපාලනඥයින් සහ ඇතැම් පුද්ගලයන් අනීතික ආකාරයට මැදිහත්වෙමින් තිබුණා LTTE සාමාජිකයන් සහ එම නායකයන් සමරන්න. අපි ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පොලීසිය ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරයි.”







