මනම්පිටිය නිමල් ජයරත්න –
යම් නීති විරෝධී කටයුත්තක් සඳහා සූදනාම් වෙමින් සිටි බවට සැක කරන යුද හමුදා බ්‍රිගේඩියර් වරයෙක් ලෙස පෙනී සිටිමින් එම නිලයට අදාලව ව්‍යාජ ලෙස සකස් කරගත් නිල ඇඳුම් සහ හැඳුනුම්පතක් සමග සිටි සිවිල් වැසියෙක්, යුද හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙක්, ඇතුළු පුද්ගලයින් 11 දෙනෙක් මෝටර් රථ තුනක්, කැබ් රථයක් සමඟ ඊයේ (23) රාත්‍රියේ වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ විනයාරක්ෂක බලකා නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැලිකන්ද පොලිසිය හා එම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
හමුදාවට කිසිම සම්බන්ධයක් නැති සිවිල් පුද්ගලයෙක් වූ “හොර බ්‍රිගේඩියර්” බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර, යුද හමුදාවේ සේවයෙ නියුතු අනෙත් දෙදෙනා ත්‍රිකුණාමලය හෙන්ද්‍රික් බලකොටුවේ ආරක්ෂාවේ නිරත වන හමුදා පුද්ගලයින් බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා යක්කල, පාදුක්ක, ගලේවෙල, මිල්ලවාන, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද වැඩ බලන පොලිස් ස්ථානාධිපති,පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.







