ජානක ලියනආරච්චි –
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ වේයන්ගොඩ නුදුරු වදුරව පැත්තෙන් දවස් තුනක් තිස්සේ නැවතිලාය. මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය පොලිිසියත් එස්ටීඑෆ් එකත් සමග මධ්‍යම අධිවේගි මාර්ගයට නුදුරු බිමක නිධානයක් හාරන්නේය. ඒ මහා ප්‍රචාරයක් ද සමගය.
නිධානයක් හොයන්නට පොලිසිය අත්තනගල්ල අධිකරණයෙන් මේ හැරීමට අවසර ලබාගන්නේ පසුගිය 11 වැනිදාය.
නිධානයක් හෑරීම අධීක්ෂණය කරන්නට දෛවෝපගත ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එතනැය. ඒ සිදුවීම දෛවෝපගත වන්නේ සැඟවූ වස්තුව හොයන්නට පුරාවස්තු විනාශ කරන මුග්ධ ගල්වැද්දන්ට නිධාන යැයි හඳුන්වන ලබ්බක් නැති බව කියන්නට ජාතික ධනය වැය කර රටවටා සම්මන්ත්රණ තබමින් පත්‍රිකා පුස්ථිකා මුද්‍රණය කරන බෙදා හරිමින් යන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රටේ ප්‍රධාන මාධ්‍ය ආවරණය ලබමින් දැවැන්ත ප්‍රචාරයක් සහිතව කරන නිධන් හෑරීමක් යැයි නම්කල හෑරීමක් අධීක්ෂණය කරන්නට මේ වනවිට සිදුවී ඇති නිසාය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අමතරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත් එතැනය. මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීනුත් එතැනය. පොලිසියත් එතැනය. රජයේ වාහන ගණනාවක් නිධන් හෑරීමේ රාජකාරියට යොදවා ඇත්තේය. පොලිසියත් එස්ටීඑෆ් එකත් පනහක් හැටක් නිධන් හාරන තැනය. කිව යුතුව ඇත්තේ මෙවැනි හෑරීමක් නම් ඉතිහාසයේවත් තිබුණේ නැති බවය.

නිධානයේ කතාව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑත ඉතිහාසය පුරාම සටන් කරනු ලැබුවේ මතවාදයක් ලෙස සමාජ ගත වී ඇති භූ ගර්භයක තැන්පත් කළ ධනය සොයා අතීත නටබුන් ව්‍යසනයට ලක් කරන අපරාධකාරී මානසිකත්වයක් සහිත මිනිසුන්ගේ මනස හදන්නටය. එහෙත් මේ මනෝ භාවය නූගත් ගැමියාගේ පමණක් නොව, සියලුම තලවල මනුෂ්‍යයන් අතරේ කිඳා බැස ඇති ගැඹුර අප බියපත් කරවමින් අප ඉදිරියට ආවේ වදුරවදීය.
කුමක් හෝ මිත්‍යාවක් මත පදනම්ව මේ භූමිය මීට වසරකට පමණ පෙර සිට තැන්පත් වස්තුවක් හොයාගෙන විවිධ පුද්ගලයින් විසින් හාරනු ලැබුවේය. එකෙක් හාරන්නට ගොස් අත් අඩංගුවට පත්වන්නේය. පුරාවස්තුවලට හානියක් නැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේය. ඌ දඩ කා නිදහස් වන්නේය. ඊට සති කීපයකට පෙර තවත් එකෙක් හෝ කණ්ඩායමක් නැවත හාරන්නේය. අසුවන්නේය. දඩ කා නිදහස් වන්නේය. ජනාධිපතිවරණය ආසන්න දිනක ආසන්නම හෑරීම සිදුවූයේය. වදුරව පන්සලේ ලොකු හාමුදුරුවෝත් නිධාන හොයන ත්‍රිල් කාරයින් අතර සිට එදා කොටුවූයේය. 11 දෙනෙක් හාමුදුරුවන් සමගම පොලිස් කූඩුවේ කූඩු වුනේය.
මේ හෑරීම හාරන්නට බැකෝ ගෙනාවේ නැත. මිනිස්සු අලවංගුවලින් උදලුවලින් හාරා නිධානය සෙවූහ. පිරිස අත් අඩංගුවට පත් ව උසාවියට දැමූ පසු මාර්ග සංවර්ධන අධිකාරිය කීවේ නිධන් හාරා මාර්ගයට කළ විනාශයෙන් ලක්ෂ විස්සකට වැඩි අලාභයක් සිදුවූ බවය.
කෙසේ වෙතත් අප දුටුවේ වේයන්ගොඩ පොලිසිය වැඩෙන් උත්තේජනය වූ ආකාරය ය. අත් දකින විද්‍යාත්මක කතාව පැත්තකට වැටෙන තැනට වැඩේ කුරුවල් කර උසාවි නියෝග ගන්නට වේයන්ගොඩ පොලිසිය කටයුතු කළේය.
නිධාන සංකල්පය
අපේ ජන වහර තුළ නිධානයක් පිළිබඳ අදහස පැනෙන්නේ අතීතයත් සමගය. නිධානය යන අදහස පැනෙන්නේ ඉතිහාසයේ යම් යුගයක පුද්ගල ක්‍රියාකාරකමක් ලෙස භූමියේ සඟවා තැබූ වස්තුවක සම්බන්ධවය. පුරාවිද්‍යාත්මක තහවුරුවක් සහිත භූමිවල යම් යම් සලකුණු සොයමින් මිනිස්සු පොළොව හාරා පුරාවස්තු වැනසූහ.
එහෙත් වදුරව වෙලේ එවැනි ඉතිහාසයක් ගැන කියැවෙන කිසිම තහවුරුවක් පුරාවිද්‍යාත්මකව දක්නට නොතිබිණි. එවැනි ඉතිහාස කතාවක් මේ අවට කොතැනකට හෝ බද්ධවන ඉතිහාස සාධකයක් ද නොතිබිණි. නිධාන සොයා පොළොව හාරන උන් උසාවි දැමූ විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්නේ පුරාවස්තුවලට සිදුවන හානිය පිළිබඳවය. මිනිසුන් අත් අඩංගුවට පත් සෑම අවස්ථාවකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් ස්ථානීය පරීක්ෂාවක් කර එවැනි පුරාවස්තු හානියක් සිදුවී නැති බව දිගින් දිගටම තහවුරු කළේය. ඉතිහාසයේ යම් කිසි කාලයක මේ භූමියේ තැන්පත් කර ඇති ධනයක් පිළිබඳ අල්ප මාත්‍ර ඉඟියක් නොවීය.
එහෙත් පොලිසිය වැඩේ අත්හැරියේ නැත. පොලිසිය අත්තනගල්ල උසාවියට කරුණු වාර්තා කරමින් පැවසුවේ නිධාන යොසා ගැනීමට භූ ගර්භය විමර්ශනය කළ හැකි උපකරණ විශේෂ කාර්ය බලකාය සතුව තිබෙන බැවින් ඔවුන් ලවා භූමිය පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙසය. උසාවිය අවසර දුන්නේය. පොලිසිය විශේෂ කාර්ය බලකාය ගෙන්වා භූ ගර්භය ස්කෑන් කර පොළොව අභ්‍යන්තරයේ විශේෂ වස්තුවක් ඇති බව කීවේය. ඒ වස්තුව සොයා ගැනීමට අවශ්‍ය කැනීම් කිරීමට අවසර දෙන ලෙසත් ඒ වස්තුව සොයාගැනීමේ දී කළු ගල් කඩන්නට සිදුවහොත් ඒවා පුපුරුවා හැරීමට අවසර දෙන ලෙසත් වේයන්ගොඩ පොලිසිය අයැද සිටියේය. අධිකරණය ඒ සඳහා නියෝගය නිකුත් කළේය.
අධිකරණ නියෝග ගෙන නිධන් හෑරීම
බොහෝ විට ආරක්ෂක අංශ භාවිතා කරන භූ ගර්භ පරීක්ෂණ උපකරණ ලෝකයේ ඇති දියුණුම තාක්ෂණික උපකරණ නොවේ. ඔවුන්ගේ රාජකාරිය සඳහා නිර්මාණයවන බෝම්බ වැනි උවදුරුවලින් වැලකීමට මූලිකව වැදගත්වන ස්කෑන් යන්ත්‍රය. ඒ හරහා භූ ගර්භය පිළිබඳ යම් සරල අදහසක් ද ලබා ගත හැකිය. ඒ අදහස හඳුනා නොගත් වස්තුවක්ව අවසානයේ නිධානයක් වී තිබුණේය.
අධිකරණ නියෝගය මත ඊයේ නිධානය හැරීම පටන් ගත්තේය. දැවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන අම්මටසිරි වෙන හෑරිල්ලක් හෑරුවේය. ඊයේ වේයන්ගොඩට හොඳටම වැස්සය. වැස්සේ මඩ කාගෙනම වැඩේ ගියේය.
නිධානයක් හෑරීම එහෙම දකින්නට හම්බවෙන්නේ නැත. වදුරව වේයන්ගොඩ රජවත්ත, කීනවල පල්ලෙවෙල මිනිස්සු නිවාඩු පිට පැමිණ නිධන් හෑරීම බැලුහ. මේ හාරන්නේ වදුරව මිනිස්සුන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන් ද හෑරූ නිධානය ය. ආරංචියට විදේශිකයොත් පැමිණියහ. ඔවුහු මේ අපුරුව වීඩියෝ ගත කරනු පෙනුණි. කැඩුනු ඉංග්‍රීසියෙන් අවට සිටින ඇත්තන් සුද්දන්ට කීවේ ඉතිහාසයේ අවුරුදු සිය ගණනකට එපිට කාලයක දී රජවරුන් විසින් නිධන් කළ මහා ධනයක් දැන් ගොඩගැනීමට යන බවය. ඊයේ හවස්වන තුරු හෑරුවේය. හම්බවුන ලබ්බක් නැත.
“එහෙම ලේසියෙන් ඔව්වා ගන්න බෑ… බහිරවයා පොළොව යටට අදිනවා….”එතකොට එතැන සිටින එකෙක් කියනු ඇසිනි. වැඩේ ඇත්ත වගේ බව රැස්වුන සමහරෙකුට හිතුනේ දවසක් තිස්සේ බැකෝ දෙකක් දාගෙන හෑරුවත් කිසිවක් හමු නොවුන නිසාය. ස්ථානයට පොලිස් මුර දැමිනි.
අද උදෙන්ම වැඩේ පටන් ගත්තේය. බැකෝ දෙක හෑරුවේය. පොලිසියේ, එස්ටීඑෆ් එකේ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පනහක් හැටක් අදත් උදේ සිට එතැනය. හාරාගෙන හාරාගෙන ගියේය. අන්තිමට දාර කළු ගලක් හමුවුනේය. හෙට සෙනසුරාදාය. හෙට මේ කළු ගල ගොඩට ගෙන ගල පලා ධනය මතුකරගන්නා ආකාරය ගැන හීන දකිමින් වේයන්ගොඩ පොලිසිය ප්රමුඛ ඇත්තන් මේ වනවිට ත්‍රිල් එකේය.

හෙට උදේ…
ඉතිහාසය ගැන අංශුවක් දන්නා එකෙක් වදුරවදී හතරමහා නිධානය පහළ වනතුරු බලාගෙන ඉන්නේ නැති බව අප දන්නේය. අල්පේච්ඡ ජීවිතයක් ගෙවූ රටේ ගොවි ජනතාවට පොළොව යට වළලා යන්නට වස්තුවක් තිබුණේ නැත. නිරන්තර සටන් සහිත අතීතයක රජරට සෞභාග්‍යමත් රාජ්‍ය ඉන්දීය ආක්රමණිකයින්ගේ පූර්ණ කොල්ලකෑමකට ලක් වූ පසු ගිරිදුර්ගයෙන් ගිරි දුර්ගයට, වගුරුබිමකට කොටුවී අවසානයේ දී කන්ද උඩරටට සීමා වුන සිංහලයේ රාජ්‍ය නිරිත දිගට සංක්‍රමණය වූ ආකාරය සහ ඒ සමාජ ආර්ථික පසුබිම ගැන සම්බන්ධ අවබෝධයක් සහිත එකෙක් වළ දමා ඇති මහා නිධාන සොයා යන උන්ට අනුකම්පා කරනු විනා සිනාසෙන්නේ නැති බව සහතිකය.
අඩුම තරමින් දැවැන්ත ගලක් පලා එහි වස්තුව තැන්පත් කීරිමෙන් පසු පැලූ තැන පූට්ටු කර මේ තරම් ගැඹුරක වළ දැමීමට පෙළඹෙන්නේ අහවල් කාරණාවකටදැයි තාර්කකව හිතන්නට පුලුවන් කමක් තිබුණා නම් කෝටි ගණනක රාජ්‍ය මුදල් වැය කර ඉතිහාසගත ගොබ්බකමක් කිරීමට මේ රටේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ නැත.
බොහෝ විට හෙට උදේ මේ ගල කුඩුකළවිට සිදුවිය හැකි ප්‍රායෝගිකම දේ අධිවේගී මාර්ගයට දැමීමට එම ගල් කැබලි යොදා ගත හැකි විම පමණය. මාර්ග සංවර්ධන අධිකාරියේම තක්සේරුව අනුව මේ වනවිට හිරේ ඉන්නා පිරිස මේ ස්ථානයේ නිධානයක් සෙවීම සඳහා උදලු අලවංගු සහ ගල්කටුවලින් සිදුකළ හානියට තක්සේරුගත අලාභය රුපියල් ලක්ෂ විස්සකට වැඩිය. ඒ තක්සේරුවට අනුව දැන් අඩුම තරමින් කෝටි දහයක පහළොවක අලාභයක් දවස් තුනක් තිස්සේ වැවක් හාරන බලය වැය කරමින් දැවැන්ත බැකෝ යන්ත්‍ර දෙකකින් භූමියට හානි සිදුකර ඇත. රාජ්‍ය නිලධාරීන් සිය ගණනක වැඩකරන පැය සහ වාහන, ඉන්ධන ඇතුළු භෞතික සම්පත් වැය වී ඇත. අධිවේගී මාර්ගයේ වැඩ අඩාල වීමෙන් සිදුවන හානිය වෙනම ගණනය කළ යුතුය.
ඒ සියල්ලටම වැඩියෙන් භූ ගර්භයේ වළලා ඇති නිධාන සම්බන්ධ අතිශය අහිතකර ව්‍යාජ මනෝමය සංකල්පය බිහිසුණු ලෙස සමාජගත කර ඇත. ආතල්ම කෑල්ල එය නොවේ. යහපත් පාලකයින් පහළවනවිට පොළොව පලාගෙන මතුවන නිධාන ගැන කතා ද ඇසෙමින් තිබීමය. ඇඟ හිරිවැටෙන්නේ පොළොව පලාගෙන කැළණියේ ගං දිය දෙබෑ කරමින් නාග ලෝකයෙන් මතුවූ නාගයාගේ කතාව සිහිවන විටය.
වේයන්ගොඩ පොලිසියට කිව යුතුව ඇත්තේ තමුන්නාසේලා දුන්නේ එසේ මෙසේ ආතල් එකක් නොවන බවය. අධිවේගී මාර්ගයක් ඉදිකිරීම අත්හැර දමා මාර්ගයට නුදුරින් වළවල් හාරාගෙන නිධාන සොයන ජාතියක පුරවැසියෙක් වීමත් මරුය. මේ ලියුම්කරු අද නිදා ගන්නේ ඒ සොමියෙන්ය.
එහෙත් එක දෙයක් කිව යුතුව තිබේ. මොළේ අර්ශස් හැදුනවිට ඇතිවන තත්ත්ව ලෝකයට විහිළු සපයනවා පමණක් නොව, අධිකරණයත්, රජයත්, මිනිස්සුන්ගේ විචාර බුද්ධියත් බිහිසුණු ව්‍යසනයකට පත් කරන බව වදුරව සිද්ධිය අපට කියා දෙන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසියේ මහත්තුරුන්ට කිව යුතුව ඇත්තේ එය ඒ තරම් යපහත් තත්ත්වයක් නොවන බවය.







