සූරියවැව නුවන් ජයසේකර –
බන්ධනාගාර රැදවියෙකුට වීරවිල එළිමහන් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමක වරයෙකු විසින් සිදුකර ඇති අමානුෂික පහරදීමේ සිද්ධියේ දි වින්දිත රැඳවියාගේ පාර්ශවය සදහා අවශ්‍ය සියළු නීතිමය කටයුතු පවත්වා ගැනීමට පියවර ගන්නා බව මානව හිමිකම් ප්‍රථමාධාර මධස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක තරංග එල්.පටබැදි පැවසීය.
මෙලෙස පහරකෑමට ලක්ව අසාධ්‍යව රෝහල් ගත කර ඇත්තේ බඩල්ගම, කටුකෙන්ද, හයිවේ ටෙරන්ස්, අංක 141 දරණ ලිපිනයේ පදිංචි ආබාධිත තත්වයෙන් පෙළෙන ඩබ්ලිව්.ඒ. නිශාන්ත සංජීව හෙට්ටි ආරච්චි නැමැත්තෙකි.
එහිදි සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයෙකු වරදක් කළ පසු ඊට අධිකරණයකින් දඩුවම් නියම කර එම දඩුවම් බන්ධනාගාරය තුළ විදිමින් සිටියදී සිරකරුවන්ට මෙලෙස අමානුෂික ලෙස පහරදීම කිසිසේත් අනුමත කළ නොහැති බවයි. මේ සම්බන්ධයෙන් සියළුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.
2024.10.22 වන දින හෙරොයින් මිලිගෑම් 200 ක් සමග මට්ටක්කුලිය පොලිසිය විසින් මොහුව අත් අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් මොහුව 2024.10.23 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මොහුට රුපියල් 7000 ක දඩයක් නියමකර තිබේ. එම දඩය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණය විසින් මොහුට මාස 06 ක සිර දඩුවමක් නියම කර, වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකර කර ඇත.
ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය විසින් මෙම සිරකරු 2024.10.23 දින රාත්‍රී වීරවිල එළිමහන් සිර කදවුර වෙත ස්ථාන මාරුකර යවා ඇති අතර 2024.10.31 වන දින මෙම සිරකරුට ඇති වූ හිස රදයක් හේතුවෙන් ඔහු එහි සේවයේ නියුතු බන්ධනාගාර නියාමකයක වරයෙකුගෙන් පෙනඩෝල් පෙති දෙකක ඉල්ලා තිබේ.
එහිදී බන්ධනාගාර නියාමක වරයා එය සැළකිල්ලකට නොගෙන නෑසුනා සේ සිට ඇත. එහිදී යළිත් මෙම සිරකරු විසින් නියාමකවරයාගෙන් පැනඩෝල් පෙති දෙකක් දෙන ලෙස ආයාචනය කර තිබේ. එහිදී ඊට උරණ වු බන්ධනාගාර නියාමක වරයා සිරකරුට පරුෂ වචනයෙන් බැනවැදී දකුණු අත අහිමි මෙම ආබාධිත සිරකරුට පොල්ලකින් ඉතා අමාණුෂික ලෙස පහරදී ඇත.
පහරකෑමෙන් සිරකරුගේ වම් අතට බරපතළ තුවාල සිදුව තිබේ. නමුත් බන්ධනාගාර නිළධාරීන් විසින් තුවාල ලැබූ සිරකරුගේ අතට කිසිදු ප්රථිකාරයක් නොකර දින 07ක් තිස්සේ බන්ධනාගාරය තුළම රඳවාගෙන සිට ඇත. එහිදී සිදුව තිබූ තිවාලයෙන් අධික ලෙස සැරව ගැලීම හේතුවෙන් සිරකරු වීරවිල බන්ධනාගාර නිළධාරීන් විසින්ම පසුගිය 07වැනිදා වීරවිල එළිමහන් බන්ධනාගාරයේ සිට ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුලත් කෙරුණු සිරකරු වෛද්‍ය උපදෙස් මත නේවාසික ප්‍රථිකාර සදහා රෝහලේ 04 වැනි වාට්ටුව වෙත යොමු කර තිබේ.







