ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම අනිද්දා (23) අත්සන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක 10 වැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කරමින් පැවසුවේය. එය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනේ තීරණාත්මක අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා පැවසුවේය.
ඔහු සිය රාජාසන කතාව පවත්මින් මෙසේ කීවේය.
“මේ ආර්ථිකයෙ ගැඹුරේ ප්‍රමාණය අප දැනගෙන හිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිරවී තිබෙන ආර්ථිකයක්. ඉතාම සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අප හමුවෙ තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නෑ, මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව වුනේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය කෙරෙහි ඊට අදාල කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. ”
“අපි කුඩා හෝ අත්වැරදිමක් මහත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා මේ ආර්ථිකයෙ අර්බුදයේ ප්‍රමාණය මත. කුඩා හො කම්පනයක් තව දුරටත් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව, බිඳවැටීමට ඉඩ නොදී හැම තීරණයක්ම හැම අවස්ථාවකම සෑම පැති ගණනාවකින්ම කල්පනා කළ ගත යුතු අවස්ථාවකට අප එළඹී තිබෙනවා. අපට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපට උරුම කරලා දීලා නෑ. අත් වැරැද්දකට හෝ අවස්ථාවක් නෑ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කරලා සංවාදයට ලක් කරලා තීන්දු ගත යුතුයි.”
“ඒ අනුව අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම අපි ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කරලා තිබුණා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණි රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් තියන රාජ්‍යයක එකඟතා බිඳවට්ටා ඉදිරි ගමනක් නැති බව අප තේරුම් ගත්තා. ඒ අනුව අපි ජනාධිපතිවරණයේ දී මහ මැතිවරණයේදී අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟවී ඇති පරාමිතීන්ට අනුව අප මේ ආර්ථිකය හසුරුවන්න සූදානම් බව. ඒ අනුව දැනට අප ක්‍රියාමාර්ග කීපයක නිරතවෙමින් ඉන්නවා.”
“”අප දන්නවා එහි තුන්වැනි සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වැනි සාමාලෝචනය ආරම්භ කළ යුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ දී. නමුත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය හේතුකොටගෙන තුන්වැනි සමාලෝචනය ආරම්භ කරන්න අපට කාලයක් ගතවුනා. මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ලංකාවට ආවා. අප ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ”
“අපි හිතනවා මේ සතිය තුළ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් අපට මේ 23 වැනිදා අත්සන් කරගත හැකි වේවි කියලා. එය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.”







