ජාලිය වීරක්කොඩි –
මල්වතු මහා නායක හිමියන් ද කඩේ යවමින් ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සිදුකරන ලද කඩප්පුලි දේශපාලන අමනකමක් සම්බන්ධව මුල මැද අග මේ වනවිට හෙළිදරවු වී තිබේ.
තමන් ජාතික ලයිස්තුවෙන් හෝ තරග නොවදින බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පොරොන්දු වී සිය දියණිය වූ ශමින්ද්රානි කිරිඇල්ලට නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව තමන්ව ද ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධූරයක් සඳහා ජාතික ලයිස්තුවට ඇතුළත් කරන ලෙසට මල්වතු මහා නායක හිමියන්ගේ අත්සන සහිත ලිපියකින් පක්ෂ නායකවරයාට බලපෑම් කිරිමත් සමග මේ දේශපාලනයේ නිරුවත රටට හෙළිදරවු වුනේය.
සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය. වසර තිහකට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටි බවත් අලුත් පරපුරට දැන් ඉඩ දිය යුතු බවත් මාධ්‍යයට කියමින් මැතිවරණයට පෙර විපක්ෂයේ හිටපු සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල තමන් මැතිවරණයට තරග නොකරන බවත් ජාතික ලයිස්තුවෙන් හෝ ඉදිරිපත් නොවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ඔහු කී තරුණ පරපුරේ නියෝජනය වූයේ ශමින්ද්රානි කිරිඇල්ල වූ ඔහුගේ දියණිය ය. සමගි ජන සන්ධානයේ නායකයා මෙන්ම සමගි ජන බලවේගයේ නායකයා ද වූ සජිත් ප්‍රේමදාස ශමින්ද්රානි කිරිඇල්ලට මහනුවර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා භාරදීමට එකඟ වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලට මෙවර ජාතික ලයිස්තුවට හෝ නම් නොකිරීමේ පදනම මතය. එය පැහැදිලි එකඟතාවයක් විය.
මක්නිසාද යත් ලක්ෂ්මන් කිරිඇල්ල සම්බන්ධව මෙන්ම ඔහුගේ දියණිය සම්බන්ධව ද පොදු ජනතාව තුළ ඇති ආකල්පයත් යහපත් එකක් නොවීමය. යහපාලන සමයේ ඔහුගේ අමාත්‍ය ධූරය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය ගසා කෑ ආකාරය සම්බන්ධවත් දියණිය වූ ශමින්ද්රාණිගේ සැමියාටත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැවරූ ආකාරයත් ගැන චෝදනා මතු විය. එයම මුල් කරගෙන පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට තුළ විසංවාදයක් ඇති වී තිබිණි. අභ්‍යන්තර දේශපාලනයේ ඇත්තනම් මේ තාත්තාත් දුවත් එක්වර පාර්ලිමේන්තුවට පත් කරගැනීම සඳහා තමන්ගේ ලයිස්තුවට ඇතුළත් කරගැනීම දූෂණ විරෝධී සටන් පාඨත් සහිතව මැතිවරණය සඳහා සංවිධානයවන සජිත් ප්‍රේමදාසටත් ගැටලුවක් වීමය.
කිරිඇල්ලගේ ගේම
එහෙත් මේ සියලුම එකඟතාවලින් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල සිය නම ජාතික ලයිස්තුවට ඇතුළත් කරගැනීමට සජිත් ප්‍රේමදාස වෙත බලපෑම් කරන වැඩපිළිවෙළක් රහසේ ආරම්භ කර තිබිණි. පෙරේදා (18) ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙම වැඩපිළිවෙළට මල්වතු මහා නායක හිමියන් සම්බන්ධ කරගැනීමට මල්වතු විහාරයේ කාරක සංඝ සභික ගල්පිහිලේලේ නායක හාමුදුරුවන් සම්බන්ධවන ආකාරයය.
පුද්ගලික වාසි අරභයා මල්වතු මහා විහාරය මෙන්ම අස්ගිරි මහා විහාරය යම් හිමිවරුන් විසින් හසුරුවන ආකාරයත් මේ සමග හෙළිදරවු වූයේය. ඒ ආකාරයේ ප්රවෘත්ති පලවීම මොනරතරම් දුරට වාරණය වනවාද යන්න පිළිබඳව පැහැදිලි වන්නේ මේ වනවිට ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබූ ප්‍රවෘත්තිය ද ගලවා දමා තිබීමය.
මල්වතු හිමිගේ අත්සන ගත් රහසිගත ලියුම
ගල්පිහිල්ලේ හිමියන් සමග මහානායක හිමියන් හමුවන ලක්ෂ්මන් කිරිඇල්ල පක්ෂ නායකයා වෙත යවන ඉතාම පුද්ගලික මෙන්ම රහසිගත ලිපියක් ලෙස අවධාරණය කරවමින් ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සකස් කරගෙන පැමිණි ලිපියකට මහා නායක හිමියන්ගේ අත්සන ගෙන තිබේ. මේ කටයුත්තට මහ පන්සල පාර්ශවයෙන් දැඩිව බලපෑම් කරන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඉතාම කිට්ටු මෙන්ම වරදාන ලාභියෙක් ලෙස නුවර බෞද්ධ සමාජය විසින් හඳුනාගෙන සිටින ගල්පිහිලේ හිමියන්ය.
ලක්ෂ්මන් කිරිඇල්ල සකස් කරගෙන පැමිණ මල්වතු මහා නායක හිමියන්ගේ අත්සන ලබා ගත් ලිපියේ සඳහන් වී තිබුණේ කන්ද උඩරට ජනතාව කාලයක සිට නියෝජනය කළ සිංහල මන්ත්‍රීවරයා වන හෙයින් ඔහුගේ පළපුරුද්ද, නීතිමය හැකියාව සහ ඔහු රට වෙනුවෙන් කළ සේවාව යනාදී කරුණු සැළකිල්ලට ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන ලෙසය.
රටේ ගෞරවනීය සංස්කෘතික අගයක් සහිත, ඒ හේතුවෙන්ම සමස්ථ බෞද්ධ ජනතාවට වග කියන, රටේ දේශපාලකයින්ට උඩින් සිට ඔවුන්ට සාධාරණ මෙහෙයවීමක් සඳහා උපදේශනයක් ලබා දිය හැකිවිය යුතු අධ්‍යාත්මික නායකයෙක් නොකළ යුතු ප්‍රාථමික වැඩක් මල්වතු මහා නායක හිමියෝ ඒ අවස්ථාවේ සිදුකළහ. එනම් ප්‍රධාන දේශපාලන පක්ෂයක තීරණයකට බලපෑම් කරමින් එම පක්ෂයේ නායකයාට පීඩාවක් එල්ල කරන ආකාරයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ප්‍රශ්න සහිත දේශපාලකයෙක් විසින් සකස් කරගෙන පැමිණි රහසිගත යැයි කී ලිපියට අත්සන් තැබීමය.
මහා නායක හිමියන් වැඩ වාසය කරන්නේ මහනුවර මැද පිහිටි මහනුවර මහ පන්සලේය. රට තොට ගැන නොදන්නවා නමුත් අඩුම තරමින් නුවර මිනිස්සුන්ගේ මනෝ භාවය උන්වහන්සේට නොදැනෙන්නට හේතුවක් නැත. ලක්ෂ්මන් කිරිඇල්ල ජනතා ධනය කෝටි ගණන් ගසා කෑ බවට මිනිස්සු කියන කතා සම්බන්ධව නෑසී තිබෙන්නට හෝ විදිහක් නැත. සාධාරණ රටක් වෙනුවෙන් මෑත කාලයේ දී අනම්‍ය ප්රතිපත්තියක සිටින බව ප්‍රකට කළ මල්වතු මහා නායක හිමියන් මේ අත්සන ගැසුවාදැයි සිතන දෙගිඩියාවකට රටේ මිනිස්සු පත් කරමින් රහසිගත යැයි කී ලිපිය පසුගියදා මාධ්‍යයට ලීක් වුනේය.
ලීක් වුනේ සජබ ඉහළම තැන්වලින් ද?
ලක්ෂ්මන් කිරිඇල්ල මේ රහසිගත ලිපියට මහා නායක හිමියන්ගේ අත්සන ලබාගෙන යොමු කරන්නේ සමගි ජන බලවේගයේ ලේකම්වරයාටය. ලස්සනම වැඩේ වෙන්නේ පක්ෂයේ ඉහළම තලයට යොමුවන මේ රහසිගත ආයාචනය මාධ්‍යයට නිකුත් වීමය.
ඡන්දයට කලින් එවා තිබූ එම ලිපිය ලක්ෂ්මන් කිරිඇල්ලව කුජීත කරමින් එළියට එනවිට සමගි ජන බලවේගය ඉන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 05 බෙදා ගැනීමට නොහැකිව එම සන්ධානය තුළ කුලල් කා ගැනීමක් ඇතිවෙමින් ඇති වටපිටාවකය. පක්ෂයට තවමත් නම් කරගත හැකිව ඇත්තේ එක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. ඒ රන්ජිත් මද්දුම බණ්ඩාරය. පක්ෂයේ ජාතික සංවිධායක, පක්ෂයේ සභාපති, සුළු පක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි දේශපාලකයින් මේ මන්ත්‍රී ධූර සඳහා දෑස් දල්වාගෙන ඉද්දී තමන්ගේ දුව පාර්ලිමේන්තුවට යැවීමට අවස්ථාව ලබා ගැනීමේ පදනම මත ජාතික ලයිස්තුවෙන් ද ඉවත් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහා නායක හිමියන් ලවා පක්ෂ නායකත්වයට බලපෑම් කිරීම පක්ෂ නායකත්වයේ ද ඉවසීමේ සීමා ඉක්මවා ගොස් තිබුණු බව පෙනුනි.
කෙසේ වෙත්ත පෙරේදා (18) ලංකාදීප වෙබ් අඩවිය විසින් හෙළි කළ මේ ප්‍රවෘත්තියත් සමග මල්වතු මහානායක හිමියන්ගේ පාර්ශවයට දෙලෝ රත් වුනේය. ලීක් නොවන බවට ලක්ෂ්මන් කිරිඇල්ල සහතික වුන ප්‍රවෘත්තිය ලීක් වී තිබුණේය. ගල්පිහිල්ලේ අපේ හාමුදුරුවන්ට සිද්ධ වන්නේ සිවුරු හැලෙන වැඩකි. උන්වහන්සේ මල්වතු මහා නායක හිමියන්ට බලපෑම් කරමින් උන්වහන්සේගේ ගෞරවය ද කෙලෙසන තැනට වැඩ සකස් කර තිබිණි. ප්‍රවෘත්තිය දුටු සැනින් උන්වහන්සේ ලක්ෂ්මන් කිරිඇල්ලව අමතා තිබිණි.
දැන් තමන්ගේ නිවසේ කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින බැවින් තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය නැති බව ලක්ෂ්මන් කිරිඇල්ල ගල්පිහිල්ලේ හිමියන්ට කියා තිබිණි. භික්ෂුවක් හැසිරිය යුතු ප්‍රමාණය ගැන කිරිඇල්ල නායක හිමිනමකට කියා දුන් පාඩම කදිම එකක් වූයේය. කළ හැකි එකම දේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය ගලවා දැමීම බවත් තමන් එය සිදුකරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පොරොන්දු වී තිබිණි. පොරොන්දු ප්‍රකාරවම අපේ ලංකාදීප සහෝදරයින්ගෙන් කළ ඉල්ලීම ඔවුන් ඉටු කර තිබිණි. දැන් ලංකාදීප වෙබ් එකේ ප්‍රවෘත්තිය නැත.

නමුත් ලංකාදීප උපුටා දක්වමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි ගණනාවක් ඒ ප්‍රවෘත්තිය පළ කළේය. ලක්ෂ්මන් කිරිඇල්ලට ඒ සියලුම ප්රවෘත්ති සේම අප මේ ලියන සටහනත් ගලවා දමන්නට නොහැකිය.
කිව යුතු කාරණාවක් තිබේ. දේශපාලනයටම නාකි වී තවමත් ගේම් ගසමින් සිටින මේ කුහක මහල්ලන් සිදුවෙමින් ඇති සමාජ පරිවර්තනයේ ස්වරූපය තවමත් හඳුනාගෙන නොසිටීමය. මොවුන් තව බොහෝ කාලයක් අල්ලාගෙන ඉන්නේ නැත. වැදගත් වන්නේ අපේ අධ්‍යාත්මික සංකේත බඳු මහා නායක හිමිවරුන් පොදුවේ දේශපාලනයෙන් නිරුවත් වී සිටින මෙවැනි කුජීත මහල්ලන්ගේ දේශපාලන වසුරුවලින් අපවිත්‍ර නොවී සිටීමට තරම් සතිමත් වීමය. උන් වහන්සේලාට ධර්මය වැටහේවායි ප්‍රාර්ථනා කරමු.







