-
රනිල්ගේ යහ පාලන ආණ්ඩු කාලයේ දී ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගම වංචාකළ වැට් බදු ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 3කට වැඩියි… අරක්කු බෝතල්වල හොර ස්ටිකර් ඇලවීම ඇතුළු අරක්කු වංචා රැසකට සම්බන්ධ ඇලෝසියස් බැඳුම්කර නඩුවෙත් ප්‍රධාන චූදිතයෙක්…
හිඟ බදු මුුදල් නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, රෝයල් ඩිස්ටලරිස්, ෆින්ලී ඩිස්ටලරීස්, සිනර්ජි ඩිස්ටලරිස්, හිඟුරාන ඩිස්ටලරිස් යන සමාගම් පහේ බලපත්‍ර අහෝසි කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ සමාජ ක්රිියාකාරිකයෙක් වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ දී ය. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝඳාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්ඡය මණ්ඩලය ඉදිරියේ පෙත්සම අද විමසා බැලුවේය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කියා සිටියේ පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටින ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, රෝයල් ඩිස්ටලරිස්, ෆින්ලී ඩිස්ටලරීස්, සිනර්ජි ඩිස්ටලරිස්, හිඟුරාන ඩිස්ටලරිස් යන සමාගම් පහ ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 දාට පෙර ගෙවිය යුතු බවට දැනුම් දී ඇති බවය. එම හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 22 දා කැඳවීමට දින නියම කළේය. එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කර තිබිණි. පෙත්සම් කරුවන් සිය පෙත්සම මගින් වගඋත්තරකාර මත්පැන් නිශ්පාදන සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත්, රජයට අය විය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවත් පෙන්වා දී තිබේ.
පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ අදාල බදු මුදල් අය කරගන්නා ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය. එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මේ සමාගම් පහේ බිලියන 6ක බදු මුදල් වලින් බිලියන 05කට වැඩි බදු මුදලක් වංචා කර ඇත්තේ අර්ජුන් අලෝසියස් ගේ ඩ්බ්ලියු. එම් මෙන්ඩිස්, සමාගමය. ඉන් බිලියන තුනකට ආසන්න මුදලක් වැට් බදු වංචාවකි. රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් ලෙස මහ බැංකු බැඳම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙක්වන අර්ජුන් ඇලෝසියස් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දැරූ යහපාලන ආණ්ඩුව පැවති වකවානුවේ පමණක් වංචාකළ වැට් බදුවල වටිනාකම රුපියල් බිලියන 3කට අධික බව අධිකරණයේ දීම හෙළිදරවු වූයේය.
සෑම මත්පැන් බෝතලයක්ම අත්පිට මුදලට විකිණෙද්දී රජයට ගෙවිය යුතු වැට් බද්ද ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම රජයට නොගෙවා වංචා කර තිබිණි. එමෙන්ම රජය විසින් නිකුත් කරනු ලැබූ මත්පැන් බෝතල්වලට අලවන ස්ටිකර් ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇලවිමේ චෝදනාව ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට එල්ල විය.
අධිකරණ නියෝග කඩ කර අදාල බදු මුදල් ගෙවීම හිතා මතා පැහැර හැරිය මෙන්ඩිස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලොසියස් සහ ඔහුගේ සමාගම් අධ්යක්ෂවරු තිදෙනෙක් මේ වනවිට ඉන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමිනි. මේ වනවිට මෙන්ඩිස් සමාගමේ නිශ්පාදන සීමා කර ඇති අතර එම සීමාව තුළ නිශ්පාදනය වනවාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් යොදවා තිබේ.







