පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල ප්රමුඛ කරගත් ආකල්පය මෙන්ම දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම් මෙන්ම ආර්ථික අර්බුදය වැනි කාරණා පදනම් කරගෙන කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
බොහෝ අපේක්ෂකයින්ගේ ප්රචාරක කටයුතු ඇල්මැරුණ ස්වරූපයක් ගෙන ඇත්තේ මේ හේතුවෙන් බවත් විදේශ රටවල දානපතීන් අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩට උදව් කිරීමද බොහෝ සෙයින් අඩුවී ඇති බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නිරීක්ෂණය කර තිබේ.
අධික වියදම් හේතුවෙන් අපේක්ෂකයන් පෞද්ගලිකව මැතිවරණ ප්රචාරක කටයුතුවලට වියදම් කිරීමද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. මේ තත්ත්වය මත ප්රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීමද දෙගුණයකින් පමණ අඩුවී ඇතැයි පවසන පැෆරල් සංවිධානයේ විධාය අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බොහෝ අපේක්ෂකයන් සිය ප්රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇති බව පෙනී යන්නේ යැයිද පෙන්වා දෙයි.
වියදම් සීමා පැනවීමද ප්රචාරක දැන්වීම් සඳහා මුදල් වැය කිරීම අඩුවීමට තවත් එක් හේතුවක් බවද දැනගන්නට ඇත. අපේක්ෂකයන් ගෙයින් ගෙට ගොස් ප්රචාරක කටයුතු කිරීම වෙනදාට සාපේක්ෂව වැඩිවුණු තත්ත්වයක් පෙනෙන්නට ඇති බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000න් ඍජුව ප්රචාරක කටයුතුවල නිරත වී ඇත්තේ 7000ක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ ( ලංකාදීප)







