ශ්‍රියානි විජේසිංහ –
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සම්බන්ධයෙන් අපක්ෂපාති විනය පරික්ෂණයක් පැවැත්වීම අද (2) සිට ආරම්බ කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරයි.
මෙම පරික්ෂණය පැවත්වන තෙක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාව වෙනත් රෝහලක් වෙත අනුයුක්ත කිරිමට කටයුතු කරන බව ද ලේකම්වරයා කරාපිටිය වෛද්‍යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.
විශේෂ කමිටුවක් මගින් මෙම විනය පරික්ෂණය පවත්වන බවත් එම පරික්ෂණයේ තීන්දු තීරණයන් මත විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කරාපියට රෝහල තුළ රඳවා ගනු ලබනවාද නැද්ද යන්න තීරණය වන බව ද පැවසේ. මේ අනුව කරාපියට රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඊයේ සවස 5.00 පමණ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරිම සඳහා වන සාකච්ඡා මේ වන විට පවත්වමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
මෙම වෛද්‍යවරයා මීට පෙර ද අවස්ථා කිහිපයකදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වාර්තා වූ අතර ඊයේ දිනයේදී (01) ශල්‍යාගාරයක් තුළදී ඔහු පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.ඩී මහලියනට බැන වැදී තර්ජනය කළ බවට වාර්තා විය. ඊට පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාමරයේදී කරාපිටිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරදුගොඩ ට දැඩි සේ තර්ජනය කර ඇති බවත් එම කාමරය අසළදී ළමා වකුගඩු විශේෂඥ වෛද්‍යවරියක වන හර්ෂණී ධර්මවර්ධනට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමටද තැත් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.







