මෙරට සහල් තොග පිළිබඳ වාර්තාවක් මේ සතියේදී ජනාධිපතිවරයා වෙත භාරදෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට පරීක්ෂණයක් පවත්වයි.
අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙම විමර්ශනය ක්‍රියාත්මකය.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සතුව ඇති තොග මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සතු තොග තක්සේරු කරමින් සිටී.
පාලන මිලට වඩා සහල් අලෙවි කරන ස්ථාන හඳුනා ගැනීම සඳහා වැටලීම් ආරම්භ කර ඇති බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
නාඩු සහල් සඳහා පාලන මිල රුපියල් 220කි. මෙම මිලට වඩා නාඩු සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කළේය.
වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙළෙඳපොළේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.







