ශ්‍රියානි විජේසිංහ –
- සූකර උණ හැදිලා මිය ගිය ඌරන්ගේ මස් රුපියල් 100 ගානේ අරන් නත්තලට රුපියල් 1200ට විකුණන්න ගබඩා කර ඇති බවට පැමිණිලි ලැබිලා….
ජාඇල, වත්තල, ඒකල,මීගමුව, කටාන, සීදුව ප්‍රදේශයන් හී ශීතාගාර පරික්ෂා කිරිම ආරම්භ කර ඇතැයි ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී.ආර්.ඩබ්. බණ්ඩාර සඳහන් කරයි.
සූකර උණ රෝගය වැලඳි මිය ගිය ඌරන්ගේ මස් මෙම ප්‍රදේශවල ශීතාගාරවල හොර රහසේ තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ මෙම පරික්ෂා කිරිම් ආරම්භ කළ බව හෙතෙම පැවසුවේය.
සාමාන්‍යයෙන් මෙම ශීතාගාරවල මාලු සහ කුකුල් මස් ගබඩා කළද ඒවා අතර ඌරුමස් ද ගබඩාකර ඇති බවට තොරතුරු ලැබුණු බව ලේකම්වරයා පැවසුවේය.
රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් කිලෝව රුපියල් 100ක් වැනි සුළු මුදලකට මිලදී ගෙන ඒවා ඉදිරියට එළඹෙන නත්තල වෙනුවෙන් රුපියල් 1000 – 1200 ක මුදලකට අලෙවි කිරිමට කූඨ වෙළෙඳුන් අදහස් කර ඇති බව එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටියි.
කෙසේ නමුත් රෝගය පැතිර ගිය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහත සඳහන් කළ ප්‍රදේශයන්හි රෝගය පැතිර ගිය බැවින් එම ප්‍රදේශවල සිට ඌරුමස් වෙනත් ප්‍රදේශයන් වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය අනිවාර්යයයෙන්ම ලබා ගත යුතු බව දන්වමින් සත්ත්ව නිෂ්පාදන සහ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් ඊයේ ගැසට් නිවේදනයක්ද පළ කළේය.







