ලලිත් චාමින්ද –
අමාත්‍ය නිල නිවාස වෙනුවෙන් ලබාදි ඇති ජල සම්බන්ධතා 23ක් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 3.5ක මුදලක් ඉකුත් වර්ෂය (2023) අවසන්වනවිටද අයකරගැනිමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල දිගු කාලීනව හිඟව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අදාළ පාර්ශවයන්ගෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මියගිය මහජන නියෝජිතයින්ගෙන් අයවිය යුතු හිඟ මුදල් අයකරගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා දන්වා ඇති බවය.
මහජන නියෝජිතයින්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමේ දී සාමාන්‍ය පාරිභෝගිකයින් ලෙස සලකා හිඟ මුදල් අයකරගැනීමට කටයුතු කරණු ඇති බවය. හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම් විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.







