ශ්‍රියානි විජේසිංහ –
පොලිස් නිලධාරින් 85000කගෙන් සියයට 45ක් දෙනා බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන බව වසර 2021දී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කර ගැනිමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.
තවමත් සියයට 35ක් දෙනා තමන්ට රෝගයක් පවතින බව නොදන්නේ යැයි කරන ලද සමීක්ෂණයේදී හෙලිවූ තවත් කරුණක් යැයිද හෙතෙම කීය.
රාජකාරියේදී යෙදී සිටියදී මසකට පොලිස් නිලධාරින් 17 දෙනෙකු පමණ විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් මිය යන බවත් වසරකට 23දෙනෙක් සියදිවි නසා ගැනීමට පෙළඹීඇති බවත් මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය විනැයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.
මේ අනුව පොලිස් නිලධාරින්ට උපදේශන සේවාව ලබා දීමට අත්‍යවශ්‍ය කරුණක් වී ඇතිබවද හෙතෙම පෙන්වාදේ.
වයස්ගත වීමත් සමඟ අප බොහෝ දෙනෙකු රෝගයන්ට ගොදුරුව වන නමුත් වැඩි වශයෙන් පොලිස් නිලධාරින්ට ඇත්තේ උවමනාවෙන් දාගන්න ලෙඩ යැයිද පැවසූ වැඩබලන පොලිස්පතිවරයා ක්ෂණික ආහාරයන්ට පුරුදු වීම , ක්‍රීඩාව හා ව්‍යායාම අඩුකම හා බීමත්කමට පුරුදු වීම මෙසේ රෝගීන් බවට පත්විමට ප්‍රධාන හේතු සාධක වී ඇතැයි පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර රෝහලක පොලිස් නිලධාරීන් වෙනුවෙන් එක් වාට්ටුවක් හෝ වෙන්කරවා ගැනීමට මේ වන විටත් සාකච්ඡා කර ඇති බවත් ඒ සඳහා රජයේ ධනාත්මක ප්රතිචාරයන්ද ලැබී ඇති බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය කීය.







