-
අවුරුදු එක හමාරකින් මහින්දානන් අළුත්ගමගේ ප්රමුඛ ඇමතිවරු නව ආණ්ඩුවක් පිහිටුවනවා ලු… වැටිච්ච රට ගොඩගන්න පළපුරුදු කණ්ඩායම ඉන්නෙ සිලින්ඩරේ එක්කලු… ලියලා තියා ගන්න කියලා හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහතික කර කියයි!
වත්මන් මාලිමා ආණ්ඩුවේ ආයු කාලය උපරිම අවුරුදු එකහමාරක් පමණක් බවත් ඉන් අනතුරුව ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය.
පසුගිය සමයේ ඇතමුන් තමන් ඇසු දුටු අත්දැකි දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් ගේ කතා විශ්වාස කළ නමුත් ඉදිරියේදී තමන්ට වැරදුණු බව ඒ පිරිස් වෙත අවබෝධ වනු ඇති බව්ද අනුරාධ ජයරත්න පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගැස් සිලින්ඩරය ලකුණින් ඊයේ (22) මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජන හමුවක් අමකමිනි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
පසුගිය සමයේ සමහර උදවියට දකින දේට වඩා ඇහෙන දේ ලස්සන වුණා. ඇතැම් වෙලාවට ඇහැට දකින්න ලැබුණ, මේ පොළොවේ තමන් අත්දැකපු දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් කියපු දේවල් විශ්වාස කරා. නමුත් ඒ හරහා සිදු කරගන් වරද ඉදිරියේදී සියලු දෙනාටම අවබෝධ වන බව විශ්වාසයි.
නමුත් ඔබතුමන්ලා හිතලා බලන්න ඔබේ මේ ආසනය ගොඩ නැඟුවේ කවුද කියලා. කවුද නාවලපිටියට වැඩක් කළේ? කවුද ගම්පොළ ආසනයට වැඩක් කළේ?
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ අපේ මන්ත්‍රී කණ්ඩායම එක් ආසනයක් වෙනුවෙන් සීමා වුණේ නෑ. අපි හැකි සෑම අයුරින්ම මේ දිස්ත්‍රික්කය හදන්න කැපවුණා. ඉදිරියටත් ඒ යුතුකම් කොටස ඉටු කරන බව කිවයුතුයි.
එදා මහනුවර දිස්ත්‍රික්කයෙන් නාවලපිටිය ආසනය වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන අපේ කඳවුර ශක්තිමත් කරද්දී ඊළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන දීලා ඊට ශක්තිය ලබා දුන්නේ ගම්පොළ ආසනයයි.
ඒ නිසා අපි පුළුවන් තරම් පිරිස එකතු කරමු. පිරිස එකතු කරගෙන ශක්තිමත් වෙමු.
අපි ඔබතුමන්ලාට සහතිකයක් දෙනවා, ඒ තමයි මේ මාලිමාවේ ආණ්ඩුව තවත් මාස 6ක් කරගෙන යයි. උපරිම අවුරුදු එකහමාරක් මේ ආණ්ඩුවට ආයුෂ තියෙයි. ඊට පස්සේ වැටෙනවා. ලියලා තියාගන්න. ඊළඟට ආණ්ඩුව පිහිටුවන්නේ අපි.
අපේ මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ප්රමුඛ අපි ඊළඟ ආණ්ඩුව හදනවා. මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළ තියෙන්නේ අපි සතුවයි. වැටී තිබුණු රට ගොඩගත් අත්දැකීම් ඇති පිරිස නියෝජනය කරන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම යි.
එසේ නම් අමතක කරන්න එපා,
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ඉදිරියේදී මේ රට භාරගෙන රට යළි ගොඩගන්න සූදානම් පිරිසයි. ඒ සඳහා සුදුසු කණ්ඩායම ගොඩනැඟීම වගේම එම කණ්ඩායම ශක්තිමත් කිරීම ඔබතුමන්ලාට පැවරෙනවා.







