ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 7,600 ක් මේ වන විට ලෙබනනයේ රැඳි සිටින බවත් දිනෙන් දින උත්සන්නවන යුධ තත්ත්වයක් ඇති නමුත් බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දැඩි මිල්ටරි ප්‍රහාරයකට ලක්වන ලෙබනනය හැර යනවා ද, නැතහොත් එහිම රැඳී සිටිනවා ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පවසන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ආපසු සිය රට බලා යාමට අකමැති බවය. පවතින තත්ත්වය බලමින් තවදුරටත් ලෙබනනයේ රැඳී සිටීමට ඔවුන් තීරණය කර ඇති බවය.

ඔවුන් ලෙබනනය හැර නොයන්නේ ඇයි?
“දශක ගණනාවක් තිස්සේ මෙහි ජීවත් වූ සමහර දෙනාට ශ්‍රී ලංකාවේ පවුල සමඟ සබඳතා නෑ…, සමහර විට ඔවුන් වෙනත් සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සමඟ ලෙබනනයේ දි ඔවුන් තමන්ගේම පවුල් ආරම්භ කරලා තියනවා. ලෙබනනය ඒ අයගේ දෙවන නිවස වෙලා,” තානාපතිවරයා පැවසීය.
“එසේ වුනත් ඔවුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට නීත්‍යානුකූලව ලෙබනන් සමාජයට අන්තර්ග්‍රහණය කළ නොහැකියි. ඔවුන්ට රජයේ පාසල් අධ්‍යාපනය ලැබිය නොහැකියි. කෆාලා ක්‍රමය යටතේ ඔවුන් ලෙබනනයේ රැඳී සිටින්නේ ඔවුන්ගේ සේවායෝජකයාගේ අභිමතය පරිදි පමණයි…” තානාපතිවරයා පැහැදිලි කළේය.
රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ආරක්ෂිත ස්ථානවල පදිංචිව සිටින සංක්‍රමණිකයන්ට සහාය දක්වන නමුත් සංක්‍රමණික ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රජා සංවර්ධන සේවා අධ්යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් අනතුරු ඇඟවූයේ නවාතැන්වල තත්වය නරක අතට හැරෙන බවය.
” විශේෂයෙන් වේගයෙන් රෝග පැතිරී යනවා. ලෙබනනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් කඩන් වැටිලා තියෙන්නේ. “ලෙබනනයේ පෞද්ගලික රෝහලක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ රෝහල්වල සෞඛ්‍ය සේවා මිල අධික බැවින් බොහෝ සංක්‍රමණික සේවකයින්ට, විශේෂයෙන් කල් ඉකුත් වූ වීසා මත සිටින පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ලබා ගත හැක්කේ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව පමණක් බවය.
බොහෝ දෙනෙකුට නැවත ලංකාවේ නිවෙස්වලට යන්න බෑ
තත්ත්වය නරක අතට හැරුණහොත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ඔවුන්ගේ අදහස වෙනස් විය හැකි බව ප්‍රජා සංවර්ධන සේවා අධ්යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් පැවසීය. කෙසේ වෙතත් ලෙබනනයේ මෙතෙක් සාපේක්ෂව නිදහස් මෙන්ම අනීතික ජීවිතයක් ගත කළ බොහෝ දෙනෙකුට, නීත්‍යානුකූල ලේඛන නොමැති වීම ආපසු ලංකාවට යාමට විශාල බාධාවක් ඇත. ඔවුන් බොහෝ විට ලංකාවේ ද පවුල් ජීවිත ගත කරඇති පිරිසක් බැවින් නව පවුල් සහ දරුවන් සමග රටට යෑමට ඇති අවස්ථාව තෝරා ගැනීම ද ඉතාම අවම මට්ටමක පවතී.
එමෙන්ම ප්‍රජා සංවර්ධන සේවා අධ්යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් පවසන්නේ ඇතැම් සංක්‍රමණිකයන් ලෙබනනයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර හෝ සංචාර වීසා මත බවය. තවත් අයගේ විදේශ ගමන් බලපත්‍ර ඔවුන්ගේ හාම්පුතුන් ලඟ තිබිය දී ඔවුන් සේවා ස්ථානවලින් පැන ආ පිරිස්ය.
බොහෝ දෙනෙක් ලෙබනනයේ දශක ගණනාවක් තිස්සේ ජීවත් වී ඇති අතර, බොහෝ දුරට පලස්තීන හෝ සිරියානු සරණාගතයින් සමඟ ජීවත් වී දරුවන් ද හදාගෙන ඇත. විදේශිකයන් දෙදෙනෙකුට ලෙබනනයේ විවාහයක් ලියාපදිංචි කළ නොහැකි බැවින්, මෙම දරුවන් විවාහයෙන් පිටත උපත ලැබූ දරුවන් ලෙස සලකනු ලබන ලබයි. ඇන්ඩෘ සැමුවෙල්ට අනුව ඔවුන්ගේ ලේඛන පිළිවෙළට ගැනීම වඩාත් සංකීර්ණ වේ.
හදිසි අවස්ථාවක සියලු දෙනා ගෙන්වන්න සූදානම් – රජය කියයි
කොළඹදී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්යක්ෂ සිසිර සෙනෙවිරත්න සිටියේ හදිසි අවස්ථාවකදී සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ ලියකියවිලි නොසලකා “ඉහළම ප්‍රමුඛතාවයක්” ලබා දෙන බවය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන නිසි පරිදි නොමැති වුවද තාවකාලික සංචාරක ලියවිල්ලක් සඳහා පුද්ගලයන් නිර්දේශ කිරීමට බේරූට් තානාපති කාර්යාලයට බලය ඇති බව ඔහු පැවසීය.
පුද්ගලයන් තානාපති කාර්යාලයෙන් සම්මුඛ සාකච්ඡාවකට ලක් කෙරෙන අතර අදාල නිර්දේශ කිරීමට පෙර ඔවුන් ලෙබනනයට පැමිණියේ ශ්‍රී ලංකාවේ කොහේ සිටද සහ ඔවුන්ගේ පවුලේ අය කවුරුන්ද යන්න පිළිබඳව විමසනු ඇත. මෙම දත්ත පසුව ප්‍රාදේශීය පොලිසිය සහ ග්‍රාම සේවක හරහා තහවුරු කළ හැකි බව ද ඔහු කීවේය.
Readmission Case Management System ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය හරහා නිලධාරීන්ට “මානුෂීය ආකල්පයක්” සහිතව දරුවන්ගේ උපත් ලියාපදිංචි කර නොතිබූ සංකීර්ණ අවස්ථාවන්හිදී පවා ක්‍රියා කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැහැදිලි කළේය.
“මෙවැනි හදිසි අවස්ථාවක අමාත්‍යාංශය, තානාපති කාර්යාලය, ආගමන දෙපාර්තමේන්තුව, ග්‍රාම සේවක, බුද්ධි අංශ නිලධාරීන්, පොලිසිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) එක්ව කටයුතු කළ යුතුයි,” ඔහු පැවසීය. “රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය මත අපට පළමුව දරුවන් ගෙදර ගෙනැවිත් පසුව ලියාපදිංචි කළ හැකිය.” ඔහු පැවසුවේය.
දශක ගණනකට පසු යළි සිය රටට එන මෙම සංක්‍රමණික ශ්‍රමිකයින්ට සමාජ හා ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇති බවට පුරෝකථනයක් ඇත. විශේෂයෙන්ම ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් වූ කාන්තාවන්ට තම නිවසට පැමිණීම අභියෝගයක් විය හැකි බව ඇන්ඩෘ සැමුවෙල් පවසයි.
“විශේෂයෙන්ම ඔවුන් විදේශිකයන් සමඟ සබඳතා පවත්වා ඒ සබඳතාවල ප්‍රතිඵල සමඟ ආපසු එන්නේ නම් ශ්‍රී ලාංකික සමාජය ඔවුන්ට අනුකම්පා නොකරනු ඇති…”







