හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවනු ලැබ ඇති විශේෂ ප්රභූ ආරක්ෂක රථ ( backup vehicle) තුනක් නැවත රජයට භාර දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාල විසින් හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.
එම දැන්වීමට අනුව මහින්ද රාජපක්ෂ ස්වකීය ප්රභූ ආරක්ෂක රථ තුන වාහන බාර දීමට කටයුතු කරන බව දන්වා ඇතැයි ද දැනට තංගල්ලේ රැඳී සිටින ඔහු කොළඹට පැමිණි පසු එම රථ භාරදීම සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.
මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි කටයුතු කරන්නේ බුද්ධි අංශ වලින් විමසාදැයි තමා ප්රශ්න කරන බවද හෙතෙම සඳහන් කළේය.
පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ගා පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්රියාමාර්ගයක් ගැනීම නිසුදුසු බවය. ( සුජිත් හේවාජුලිගේ – ලංකාදීප )







