ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, වෙඩිතලතිව්හි ඉදිකිරීමට යන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධව යළි කරුණු සලකාබැලීමට කැබින්ට් මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
අදානි සමාගම සමග ශ්‍රී ලංකා රජය එම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අදාලව එළඹ ඇති ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14 ) විභාගයට ගැනුණු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මේ බව අධිකරණය වෙත දන්වා සිටියාය.
වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබුණු මෙම පෙත්සම් එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිනි.
මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා පෙනී සිටිමින් අධිකරණයට දන්වා සිටියේ මේ මස 07 වනදා යෝජිත සුලං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගත් බවය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකා රජය හා අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණුත් පෙත්සම් වල අන්තර්ගත කරුණුත් සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බලා ඉන් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත බවය.
සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ වත්මන් අන්තර්වාර අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ලබා ගන්නා තීරණය දැනුම්දීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
ඇය වාචිකව අධිකරණයට දැන්වූයේ එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවය.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද වගඋත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුඅධිකරණයෙන් ඉල්ලා සිටියහ.
අධිකරණය එම ඉල්ලීමට අවසර ලබාදුන්නේය. අනතුරුව මීට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ලබන ජනවාරි මස 31 වනදාට පෙරගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළේය.







