මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා ඊයේ ( 08 ) රාත්‍රි 8.00 ට පමණ වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
ඉන් නිවාස කිහිපයක වහලවල් සුළඟට සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති බව පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර අප කළ විමසීමකදී පැවසීය.
අවතැන් වූ පවුල් කිහිපයකට අවශ්‍ය පිසූ ආහාර ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ගේ උපදෙස් පරිදි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා සහ අදාළ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඇති බවද උපුල් කුමාර කීවේය.
09 වෙනිදා එම ගම්මානයට ගොස් නිවාසවලට සිදුව ඇති පූර්ණ හා අර්ධ හානිය සම්බන්ධව තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව එම නිවාස යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පාලිත උපුල් කුමාර අප කළ විමසීමකදී වැඩිදුරටත් කීය.
වර්ෂාවක් සමග පැවැති සුළඟ හේතුවෙන් ප්‍රදේශයේ ගස් වැල් විදුලි රැහැන්වලට වැටී තිබීමෙන් ප්‍රදේශයට පැය කිහිපයක් විදුලියද විසන්ධි වී තිබිණි.







