පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායකට අද (26) දැනුම් දී ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී නිලධාරීන් මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ.
ඉන්ධන සංචිත කළමනාකරණය සහ ලබන වසර සඳහා ඇනවුම් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.
විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ද දැනුම් දුන්නේය.
විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිලිකළ ජනාධිපතිවරයා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.
මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ( අංජුල මහික වීරරත්න – ලංකාදිප)







