සූරියවැව නුවන් ජයසේකර –
ළමා අපයෝජන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භික්ෂුවක් හදිසියේ රෝගාතුරු වී මිය ගොස් ඇත.
බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා යටතේ මෙම චීවරධාරී පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
එහිදී හදිසි අසනිප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටි මෙම චීවරධාරී තැනැත්තා ඊයේ ( 25 ) සවස මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වීරවිල පොලිස් වසමේ කුඩා ගම්මාන 18, වෙහෙරපැලැස්ස පුරාණ රජමහා විහාරස්ථානයේ සිටි වැලියායේ රතනවංශ නැමැති භික්ෂු නමින් හැඳින්වෙන 65 හැවිරිදි චීවරධාරියෙකි.
මිය ගිය සැකකාර චීවරධාරියා බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනා යටතේ පසුදිය දින වීරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව බන්ධනාගාර ගත කර සිටි චීවරධාරියා බන්ධනාගාරය තුළදී හදිසියේ අසනිප විම හේතුවෙන් බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ වාට්ටු අංක 18 හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා තිබේ.
සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මෙහිදි මහේස්ත්‍රාත් වරයා හම්බන්තොට මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට නියම කලේය.
සිද්ධිය පිළීබදව හම්බන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.





