පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනයේ දී වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමට ගොස් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් වැලිගම පොලිස් වෙඩි පහරට ලක්වීම සම්බන්ධවත් චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධවත් යට ගසා තිබූ විමර්ශන යළි ආරම්භ කළ බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසය යොදවාගෙන අනීතික මැරකම් කිරීම සම්බන්ධව මෙම සිද්ධි දෙකේදීම පොලිසියට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධි දෙකෙන් ආරම්භ කරන්නේ මෙතෙක් විවිධ බලපෑම් නිසා යටගසා ඇති විමර්ශන ගණනාවක් පිළිබඳ සක්‍රීය ආම්භයක් බව වාර්තා වේ.
වැලිගම සිද්ධිය
පසුගිය වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙඩි තිබ්බේය. ඉන් එක් නිලධාරියෙක් මිය ගියේය. මිය ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙක් වූ උපුල් චමින්ද කුමාර (46) ය.
දිවයිනේ පළාත් කීපයක පවතින W15 හෝටල් ජාලය හිමිකරුවා ඒ.ජේ.එම් මුසම්මිල් ගේ පුත්‍රයාය . මෙසේ පුද්ගලික දේපලකට ඇතුලු වී සිවිල් ඇඳුමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම දේපලට වෙඩි තබා පාතාලයින් සේ පලා යෑමට කළ උත්සාහය සමාජය තුළ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් බරපතල පිළිකුලක් ඇති කළේය.
වාර්තාවුන පරිදි සිද්ධිය මෙසේය.
දෙසැම්බර් 31 වැනිදා අළුයම කේ.ඩී.එච්. වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පෑලෑන වටරවුම අසල පිහිටි W15 හෝටලය තුළට ගොස් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කළහ.
එම අවස්ථාවේ දී ඊට නුදුරින් මේ දිනවල ක්රියාත්මකවුන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් රථය වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගියේය. පොලිස් ජංගම රථය මාර්ගය හරස් කර වෑන් රථය නැවැත්වීමට උත්සාහ කරද්දී වෙට්ටුවක් දැමූ කේ.ඩි.එච් රථය පලා ගියේය. වැලිගම පොලිසිය ජංගම රථය හඹාගෙන ගොස් වෑන් රථයට වෙඩි තැබුවේය.
අනතුරුව වැලිගම පොලිසිය විසින් මෙම පලා යන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව පලා ගිය රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් රථය නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කළේය.
ඒ අවස්ථාවේ දී රථයේ සිටින කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්රවේශවීමට පොලිසිය ඉඩ දුන්නේ නැත. එහෙත් ඒ අතර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදා හැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවූයේය.
වෙඩි වැදුන සැරයන්වරයා අධික රුධිර වහනය නිසා මිය ගියේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළේය.
පසුව විමසීමේ දී මෙම කේ.ඩී.එච්. වෑන් රථයේ පැමිණ W15 හෝටලට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළි වූයේය.
සිදුවූයේ කුමක්දැයි පොලිසිය ද සිටියේ වික්ෂිප්තය. එවකට සිටි පොලිස්පති දේශබන්දු තෙන්කොන් ගේ නියොගය පරිදි තොරතුරු පිටතට යෑම වළක්වා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරමින සිටියේය.
බරපතල සැකය
මෙම සිද්ධිය ඇති වන්නේ පොලිසියටම පාතාලයෙන් වෙන් කර පොලිසිය හඳුනා ගත නොහැකි වීමය. කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී) නිලධාරීන් වැලිගම ගොස් සිදුකළා යැයි කියන මෙහෙයුම සම්බන්ධව බරපතල පරස්පරතා රැසක් මතුවන්නේ ඒ අතරය.
සිද්ධියේ අපරාධ විද්‍යාත්මක සාක්ෂි සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ නිල ප්‍රකාශ සපුරා පරස්පර විය.
වෙඩි ප්‍රහාරයට ලක් වීමේ සිද්ධිය වනවිට වෑන් රථය තුළ 07 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර තිබිණි. දෙදෙනෙකුට පමණක් වෙඩි වැදුනේය. ඒ වැලිගම දිසා රෝහලට විනාඩි 10ක දුරකිනි. එහෙත් වෙඩි වැදුන නිලධාරීන් පැය 2කුත් විනාඩි 20ක් යනතුරු රෝහල් ගතකිරීමට කටයුතු කර තිබුණේ නැත. පලා එන්නට කළ උත්සාහය පමණක් ප්රමුඛ වූ බව සහතික වන්නේ වෙඩි වැදුන නිලධාරීන් සුවසැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යොමු කරන්නේ ඉමදූව අධිවේගී පිවිසුමේ සේවය කළ නිලධාරින් බව හෙළි විය.
කෙසේ වෙතත් මේ කුප්‍රකට සිද්ධිය සම්බන්ධව විමර්ශන මගහැරුනේය.
චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල කිරීම
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් එසේය. ඒ සම්බන්ධව ද අවසානයේ සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසායේ නිලධාරීන් බව කියැවිනි..
පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් හි චමුදි පදිංචි වී සිටින නිවස පිහිටියේය. පසුගිය 2022 පෙබරවාරි 14 අලුයම පැමිණි සිව් දෙනෙකුගෙන් යුතු නාඳුනන කණ්ඩායමක් ගල් සහ අසූචි ප්‍රහාරයක් චමුදිතගේ නිවසට එල්ල කර තිබුණේය.
සුදු වෑන් රියකින් පැමිණි මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ප්‍රධාන දොරටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විමර්ශන අංශ කීවේය.
දේශපාලකයන් සහ තමන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වන්නන් ඍජුව ප්‍රශ්න කරන චමුදිත ප්‍රහාරයට ලක්වන වකවානුවේ ඉදිරිපත් කළ ටෘත් විත් චමුදිත වැඩසටහන් කීපයක් රටේ පිරිසක් අතර දැඩි ආන්දෝලනයට ලක් වූයේය.
සිද්ධිය වුන අවස්ථාව චමුදිතගේ බිරිය හිරන්ති මාධ්‍යයට විස්තර කළේ මෙසේය. අප පහළට යන්න බයේ හිටියෙ. මුලින්ම හිතුවෙ හොරු කියලා. වෙඩි සද්දයකුත් අහුණා. පහළ ගිහින් කැමරාව බලනකොට තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා දැක්කා. සාමාන්‍යයෙන් සිකියුරිටි එකෙන් අපිව හම්බවෙන්න කෙනෙක් එනවා නම් එන්න කලින් අපිව දැනුම්වත් කරනවා. එහෙම කරන්න දීලා නෑ සිකියුරිටි ඉන්න කෙනාට. පස්සෙ සිකියුරිටි එකට කතා කළාම තමයි එයා වෙච්චි සිද්ධිය කිව්වෙ. හතර දෙනෙක් ඇවිත් තියනවා.“
දින දෙකකට පසු සිද්ධිය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන නිකුත් වුනේය. සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳ මේ පිරිස පැමිණි ආකාරය එම සීසීටීවී දර්ශනවල දැක්විනි.
උක්ත සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදවා තිබුණේය. එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර තිබිණි.
එහෙත් සිද්ධිය අනාවරණය කරගැනීම අතපසු විය.
මේ සිද්ධි දෙක මුල් කරගෙන ආරම්භයක් ලෙස විමර්ශන කටයුතු අරඹා ඇතැයි පවසන පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ යට ගැසී ඇති විමර්ශන රාශියක් සක්‍රීය කිරීමේ මුල්ම අවස්ථාව මෙය වනු ඇති බවය.







