දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගම පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවය.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“නව ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රර්ථනා කරමු.”
“නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇතැයි නව ජනාධිපති කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය එතුමන් විසින් රැක ගනු ඇතැයි ද, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ මෙතෙක් අප මාතෘ භූමිය පුරා පැතිරී තිබූ දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවී ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි ද අප අපේක්ෂා කරමු.”
“එමෙන්ම, විටින්විට අප නිජබිමට බෙහෙවින් අහිතකර ලෙස බලපෑ ජාතීන් අතර වෙනස්කම් මින් ඉදිරියට ඇති නොවන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සේසත් කිරීමේ මහඟු කාර්යය සඳහාත්, ජාති, ආගම්, කුලභේදවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහාත් ශක්තිමත් පදනමක් තැබීමට ජනාධිපතිතුමන් හට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරමු.”







