කාන්තාවක ඔස්ට්‍රේලියාවේ රැකියාකට යවන බව පවසා ලබාගත් රුපියල් ලක්ෂ විසි නවයක මුදලින් රුපියල් හාරලක්ෂ අනූ දහසක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ගේ බැංකු ගිනුමකට බැර වී ඇතැයි කියන සිද්ධියකට අදාලව මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (09) ඔහුගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශන කර ඇතැයි ලංකාදීප වාර්තා කරයි.
රාජ්‍ය ඇමතිවරයාට කරන ලද දැනුම් දීමක් අනුව ඔහු මීගමුව විශේෂ අපරාධ වමර්ශන ඒකකයේ පෙනී සිට ඇත.
රාජ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරන්නේ යැයි කියන අයෙක් මීට සම්බන්ධ වූ තවත් අයෙක් මීගමු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් විමර්ශනවලින් සහ රාජ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවා මෙසේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේ යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යවන බව පවසා සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයා සහ අනෙක් තැනැත්තා රුපියල් ලක්ෂ 29ක් ලබාගෙන තිබුණු බව පොලිසිය කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධව රාජ්‍ය ඇමතිවරයාගෙන් ලබා ගත් ප්‍රකාශ සහ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන කරුණු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරගෙන යයි. ( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය – ගයාන් සූරියආරච්චි )







