විරුද්ධ පාර්ශවය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට තල්ලු වී ගොස් ඇති බවත් 21 වැනිදා සිදුවන බල හුවමාරුව වළක්වා ගැනීම සඳහා ඔහු දියත් කළ හැකි පහත්ම දේශපාලන මඩ අවලාද හා කත්කඩිකම් භාවිතා කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු පැවසුවේ දේශපාලන බල හුවමාරුවක් පමණක් නොවන විශාල සමාජ පරිවර්තනයක් සමග වන සිදුවන වෙනස තුළ පුද්ගලික දේපළ බෙදී යනවාක් සේ සිදුවු දේශපාලන බලයට හිමිකම් කීම නතර වී එය කෙටි කාලයක් තුළ මේ රටේ සැබෑ තරුණ පරම්පරාව වෙත හිමිවනු ඇති බවය. ප්රතිපක්ෂ දේශපාලනය කලබල වී ඇත්තේ මේ වෙනස නිසා බව පැවසූ අනුර කුමාර දිසානායක නාමල් රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට පියා ජනාධිපති වීම හැර ජනාධිපති ධූරය සඳහා ඇති වෙනත් සුදුසුකම් මොනවාදැයි විමසා සිටියේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නේ ජේ.ආර්. මාමා වීමේ අනුහසින් බවද ඔහු පෙන්වා දුන්නේය.
“සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න” ඔහු තරුණයින්ගෙන් ඉල්ලා සිටියේය.
අනුර කුමාර දිසානායක සමුළුව අමතමින් මෙසේ ද පැවසුවේය.
මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.
අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි. පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර, කනගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහැර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කණගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූට ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා. ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.
ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ “මා මිත්‍ර අනුර, මගේ යාළුවා” කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න’. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා. ‘යාළුවා’, ‘යාළුවා’ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.
අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුලේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.
සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න. ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයෙකුව සිටි නිසාමයි. නාමල් රාජපක්ෂත් එසේමයි. රනිල් එසේ වන්නේ මාමා ජනාධිපති වූ නිසයි. මේ රටේ ජාතික දේශපාලනය ගොනු වී තිබෙන්නේද පවුල් 04ක් 05ක් අතේ. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ආසනයේ පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දේශපාලන තත්වයත් එයම නොවේද? සමහර පවුල් තිබෙනවා තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලොකු පුතා පළාත් සභාව නියෝජනය කරනවා. පොඩි පුතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. දේශපාලනය පවුල් පඩිපෙළක තියලා වගේ. තාත්තා එක පඩියකින් ඉවත් වෙන විට පුතා ඒ පඩියට නගිනවා. මේ පරම්පරාගත දේශපාලන පවුල් අපේ රටට මහා විනාශයක් කර තිබෙනවා. මේ පවුල් පරම්පරා අතර හුවමාරු වෙන දේශපාලන බැට්න් එක තාවකාලිකව අපි අතට ලබාගෙන තරුණ පරම්පරාව වන ඔබ අතට ලබාදීම අපි වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා.
ඒ දේශපාලන බැට්න් එක අපි පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබෙන බැට්න් එක පණනල පවතින තුරු අපේ අතේ තබා ගන්නේත් නැහැ. අපි එය තබාගෙන ඉන්නේ සීමිත කාලයකට පමණයි. අපේ වගකිම ඉටුකළ විගස අපි එය මේ රටේ තරුණ පරම්පරාවට බාරදීලා ඔබ රට කරන හැටි සැනසිල්ලේ බලාගෙන ඉන්නවා. අපි බදා ගන්න පුරුදු වූ මිනිස්සු නොවෙයි. අත් හරින්න පුරුදු වූ මිනිස්සු. සැප්තැම්බර් 21 වැනිදා සිදුවන්නේ හුදු දේශපාලන බල හුවමාරුවක් නොවෙයි. මෙතෙක් අපේ රටට උරුම කරදී තිබූ නරුම දේශපාලනය වෙනුවට මුළුමනින්ම පරිවර්තනය යුගයකට යොමු කරන දේශපාලනයක් සැප්තැම්බර් 21 දින උදා වෙනවා. අපි ඔබ එක්ව මේ දින කිහිපය වැඩ කළ යුත්තේ ඒ සඳහායි. අපේ දුප්පත් හා මැද පාංතික තරුණ පරම්පරාවට ගොඩඑන්න තිබෙන මාර්ගය තමයි අධ්‍යාපනය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලිකව මා, ඔබ මෙතන නොසිටින්නට ඉඩ තිබුණා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ මහා විසල් පර්වර්තනයක් මේ රටේ තරුණ පරපුර හා දූ දරුවන් වෙනුවෙන් අපි සිදුකරනවා.
ඉතා පටු සීමාවක රඳවා තිබෙන මේ රටේ ක්‍රීඩා ක්ෂේත්රය අපි ඔබට සෞඛ්‍යය, සතුට, ප්රබෝධය ගෙනෙන ක්ෂේත්රයක් බවට පත් කරනවා. සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනෙන හා රැකියා උත්පාදනය කරන දියුණු කර්මාන්තයක් බවට පත් කරනවා. මේ රට සියලු පැතිවලින් පිරිසිදු කර, ඔබේ සිහින සැබෑ කරන ලස්සන ජීවිතයක් අත් විඳින්නට ඔබට ලැබෙන පොහොසත් ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ගොඩනගනවා.







