ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති ඖෂධ 37ක් ඉන්දීය සමාගම් දෙකකින් නිශ්ඡිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ගෙන්වීමට කැබිනට් පත්‍රිකා දෙකක් මගින් අනුමැතිය ලබාගෙන සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ දරන බරපතල ආන්දෝලනාත්මක උත්සාහයක් සම්බන්ධව සමාජයේ වගකිවයුතු පාර්ශව ගණනාවක් තියුණු චෝදනා එල්ල කරමින් ඇත.
මේ පිළිබඳව අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ වනවිට අලජ්ජී ඖෂධ ජවාරම හේතුවෙන් හිරේ විලංගුවේ වැටී ඉන්නා කෙහෙළිය රඹුක්වැල්ලගේ අඩි පාරේ යමින් වත්මන් සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ තමන් ඉන්නා දවස් කිහිපය තුළ මහ මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා ජඩ ජාවාරමක නිරත වී ඇතිදැයි සැකයක් මතුවන බවය.
ජාවාරමක ස්වරූපය ගත් මේ අතාර්කික ඖෂධ ගනුදෙනුව සම්බන්ධව ලිඛිතව සිය විරෝධය පලකරමින් ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් පවත්වාගෙන පැමිණි පිළිවෙත බිඳ දැමීමේ හේතුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය අවධාරණය කර ඇත්තේ මෙම උත්සාහයට තමන් දැඩි ලෙස විරෝධය පල කරන බවය.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊයේ දිනැතිව යවා ඇති එම ලිපියෙන් සඳහන් වන්නේ මෙම ඖෂධ ගනුදෙනුවට අදාලව සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇති බවය.
ඉන් එකකට අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති ඖෂධ 37ක් ඉන්දීය සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි එම ලිපියේ අනාවරණය කරයි.
එම ඖෂධ සැපයීම සඳහා දේශිය නියෝජිත ආයතන ලියාපදිංචි වී නොසිටීම අදාල අනුමැතිය සඳහා පාදක කරගෙන ඇතත් සුළු ඉල්ලුමක් පවතින එම ඖෂධ රජයේ රෝහල් සඳහා අවශ්‍ය වූ අවස්ථාවල පත්කළ නියෝජිත ආයතන විසින් මේතාක් සපයා ඇතැයි ද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය යැවූ ලිපියේ සඳහන් වේ.
එහෙත් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතින් විධි විධාන සපයා ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දී ඇත.
එසේ තිබිය දී අදාල ඖෂධ එක් සමාගමකින් මිලදී ගැනීමට තීරණය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි ක්‍රමවේදය නොසලකා හැරීමක් දැයි ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ප්‍රශ්න කර තිබේ.
ඒ අතර අද මාධ්‍ය හමුවක් කැඳවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ හදිසි මිලදී ගැනීම ක්‍රියාවලියේ බිහිසුණුකම හෙළිදරවු කළේය.
“මේ අගෝස්තු 10 වැනිදා කැබිනට් පත්‍රිකාවේ ප්‍රධානම කරුණු කීපයක් තියනවා. එකක් තමයි මේකේ ඖෂධ වර්ග 37ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් කරන්න අනුමැතිය ඉල්ලලා තියනවා. ”
“මේ 37න් අමාත්‍යවරයා කියන විදිහට මේකේ ඖෂධ වර්ග 16ක් සඳහාවන සමාගම් එකක්වත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙලා නෑ. තවත් ඖෂධ 21 සඳහා ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ලංසු ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා ඖෂධ වර්ග 37ක් හදිසි මිලදී ගැනිම් කරනවා කියලා අමාත්‍යවරයා කියනවා.”
“මෙච්චරකල් මේ හදිසි මිලදී ගැනීම් කියන ලේබලය යටතේ තමයි මේ සියලු වංචා දූෂණ සිද්ධ වුනේ. අද කෙහෙළිය හිරේ ඉන්නෙත් ඒ නිසා. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න රමේෂ් පතිරණ ඉන්න දවස් දෙක තුනේ මහ මැතිවරණයට සල්ලි හොයන්න මේවා කරනවද කියන බරපතල සැකයක් ඇවිත් තියනවා.”
“මේකේ බරපතලම එක තමයි මේ අය සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණය කරන්න යන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කිරීම සඳහා වන කුමන්ත්රණයක. ඒ වගේම ලංකාවේ රෝහල්වලට ඖෂධ සැපයීමේ ඒකාධිකාරී බලයක් ඉන්දියාව සතු කිරීම සඳහාවන උත්සාහයක් මේක.”
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේත් රමේෂ් පතිරණ ඇමතිවරයා මේ නැවත යන්නේත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගිය පාරේමදැයි සැකයක් ඇතිවන බවය.
කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරියේ නිශ්ඡිත ක්‍රමවේද ඉක්මවා ගොස් කැබිනට් අනුමැතියකින් මෙම ඖෂධ ගෙන්වීමට යන ආකාරය ගැන හෝ එවැනි කැබිනට් පත්‍රිකාවක් ගැන ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම දැනුම්වත් වී නැති බව අද නිව්ස් ෆස්ට් වාර්තා කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ එම අධිකාරියේ අනුමැතිය මත අන්තර්ජාතිික ටෙන්ඩර් කැඳවීමකින් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ඖෂධ වර්ග 40ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.







