ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට අධිකරණයෙන් තින්දු කර සිටින රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තබා ප්‍රජා අයිතිය සහිතව ජීවත් වන්නටවත් ඉඩක් නැති බව ජාතික ජන බලවේගය පවසයි.
“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගන්න මැදිහත් වුන ජනාධිපතිවරයාට සදාචාරයක් තියනවා නම් මේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් විය යුතුයි. ඒත් ඔහු සදාචාරයක් ඇති පුද්ගලයෙක් නෙමෙයි.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් ඇසු පැනයකට පිළිතුරු දෙමිනි.

“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්ත කෙනෙක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙද්දී, සදාචාරාත්මකව නම්, ඔහුට ඡන්දයට ඉදිරිපත් වන්නත් බැහැ. හරි නම්, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වෙන්න ඕනෑ. “
“නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉන්නවා. ඒ නිසා ඔහුගේ ප්‍රජා අයිතිය තීරණය කිරීමේ බලය තිබෙන්නේ දැන් මහජනතාව අතේ. මහජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙක් ඡන්දය ඉල්ලන කොට ඔහුගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් තීරණය කරන්න වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. “
“ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න මැදිහත් වූ ජනාධිපතිවරයකුට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නැහැ. මේ තීන්දුව අනුව හරි නම් ඔහු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙන්න ඕනෑ. නමුත්, රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක් නොවෙයි.”







