2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දැමීම ජනතාවගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුනි.
ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළේය.
ජනාධිපතිවරයා විසින් ස්වකීය බලය පාවිච්චි කර අතිශය අතාර්කික හේතු දක්වා පළාත් පාලන මැතිවරණය කල් දැමූ පසු ඒ පිළිබඳව විමසීමේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසුවේ කල් දැමීම සඳහා පළාත් පාලන මැතිවරණයක් නොමැති බවය.







