ශ්‍රියානි විජේසිංහ –
රෝහල්වල පුළුල් කර ඇති සේවාවන් වෙනුවෙන් වෛද්‍යවරුන් අනුයුක්ත කිරිම කළමණාකාරන සේවා කොමිෂන් සභාව මගින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මේ වන විට රෝහල් ගණනාකව සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් නොමැති වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කලුතර ගල්ලැස්ස නව මාතෘ රෝහලට වෛද්‍යවරුන් 72ක් අවශ්‍ය වුවද අනුමැතිය ලබා දී ඇත්තේ වෛද්‍යවරුන් 25 දෙනෙකුට පමණක් යැයිද පේරුදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වෛද්‍යවරුන් අනුමත කර නොමැති බවද සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.
එසේම කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකයට , මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකයට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයට වෛද්‍යවරුන් අනුයුක්ත කර නොමැති බවද හෙතෙම පෙන්වාදේ.
රජය මඟින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටු වීමට සහ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කළ ද, මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට කළමණාකරණ සේවා කොමිෂන් සභාව මගහරිමින් සිටින බවද සංගමය අනාවරණය කරයි.
සෞඛ්‍ය පද්ධතියේ සංකීර්ණත්වය සහ සංවේදීභාවය පිළිබඳව කිසිදු තාක්ෂණික දැනුමක් හෝ අවබෝධයක් නොමැති නිලධාරීන් විසින් කළමනාකරණ සේවා කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කරන අත්තනෝමතික තීරණ හේතුවෙන් අවසානයේ සිදුවී ඇත්තේ, මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් සහ පුළුල් කිරීම් සියල්ල අඩපණ වන තත්ත්වයකට පත් ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි







