මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇලහැර රක්ෂිතයෙන් දියබෙදුම කෝඳුරුවාව ගම්මානයට අද ( 06 ) පෙරවරුවේ කඩා වැදුණු වලහෙක් සපාකෑම හේතුවෙන් එම ගම්මානයේ අවුරුදු 70 ස්වාමියා හා අවුරුදු 67 ක බිරිඳ ක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා දියබෙදුම රෝහලට ඇතුළත් කර ඇති බව දියබෙදුම පොලිසිය කියයි.
ඉන් බරපතළ තුවාල ලැබු බිරිය හා ස්වාමියා පොලොන්නරුව රෝහලට මාරු කර යවා ඇති බව දියබෙදුම රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

එම වලහා දියබෙදුම වනජීවී නිලධාරීන් හා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අල්ලා නිර්වින්දනය කර ගිරිතලේ වනජීවී කාර්යාලයට ගෙන ගොස් ඇති බව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එම්.සී.මදුසංක අප කළ විමසීමකදී කීවේය.
06 වෙනිදා උදැසන නිවසේ දොරවල් විවෘත කරන විට නිවස ඉදිරිපිට සිටි එම වලහා එක වරම නිවසට කඩා වැදි ,ස්වාමියා හා බිරිඳ සපා කෑමෙන් පසු දියබෙදුම ප්‍රාදේශීය රෝහලෙන් පොලොන්නරුව රෝහලට යවා තිබේ.

වලහා ඇල්ලීමට යාමේදී තුවාල ලැබු තිදෙනා දියබෙදුම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් දියබෙදුම යාය 33 ගම්මානයේ පදිංචි කරුවන් බව දියබෙදුම පොලිසිය පවසයි.
මේ පිලිබද වැඩිදුර පරික්ෂණ දියබෙදුම පොලිසිය විසින් සිදු කරයි..







