දිනසේන රතුගමගේ-
මුලතිව් දිස්ත්‍රික්කය තුළ අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස දියත් කොට තිබූ කොකෝවා ආදර්ශ ගොවිපලේ දෙවන වගාවේ අස්වැන්න සාර්ථක වීමත් සමගම 2024 වසර තුළ දිස්ත්‍රික්කය පුරා කොකෝවා වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොකෝවා වගාව මධ්‍යම පළාතට පමණක් සීමා වූවත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොකෝවා අස්වැන්නෙන් ලද කොකෝවා තුළ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටින් ඇමයිනෝ අම්ල හා තන්තු ඇති බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ.
මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානය විසින් මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කය තුළම කොකෝවා වලින් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය පිළිබදව අත්හදා බැලීම් සිදු කරණ අතර එහිදී ඉතා පහසුවෙන් චොක්ලට් නිෂ්පාදනය කළ හැකි බව සොයා ගෙන තිබේ.
මේ අනුව උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්ක වලද කොකෝවා වගා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා ගොවීන් දිර්මත් කොට සමස්ත උතුරු පැළාත තුළම කොකෝවා වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සාකච්ඡා ආරම්භ කොට තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ වැවෙන කොකෝවා ගෙඩියක බර ප්‍රමාණය හා එක් ගෙඩියක් තුළ අන්තර් ගත කොකෝවා ඇට ප්‍රමාණය කිසිසේත්ම මධ්‍යම පළාතේ කොකෝවා වලට අඩු මට්ටමක නොවීමද විශේෂත්වයකි.
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මුලතිව් දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට සුදුසු කොකෝවා ප්‍රභේදය තෝරා ගෙන ඒම ප්‍රභේදය ව්‍යාප්ත කිරීමට ද මුලතිව් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
මෙම කොකෝවා ව්‍යාපෘතිය මුලතිව් දිස්ත්‍රික් කෘෂිකාර්මික පුහුණු මධ්‍යස්ථානයේ වගා කළමනාකාර තුමිලාන් සහ මුලතිව් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ යාමිනී සසීලන්ගේ මඟපෙන්වීම යටතේ ඔටුසුට්ටාන් කෘෂිකර්ම ගුරුවරිය වන අනෝතිනි සිවනේෂ්වරන් විසින් දියත් කොට ඇති අතර චොක්ලට් නිෂ්පාදනය සදහාද ඇය මූලිකත්වය ගෙන කටයුතු කරණු ලබයි.







