කට හැකර වාචාලකම් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් එම කුණු වාචාලකම් මාතර වැල්ලට ගොස් පවත්වා ගන්නා ලෙසත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් අද (23) විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරට පැවසුවේය.
මන්ත්රීවරයා මේ බව පැවසුවේ වැඩ තහනමට ලක් වූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් 60 දෙනා වෙනුවෙන් නඩු කටයුතු සඳහා පෙනී සිටීමට ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල රුපියල් ලක්ෂ 55ක මුදලක් එම සේවයකයින්ගෙන් අය කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි කළ ප්රකාශයට පිළිතුරු දෙමිනි.
මාතර පැවති එක්ව ජයගමු ජනතා රැළියේ ජනතාව ප්රවාහනය කිරීමට තම පක්ෂය විසින්ම ලබා දුන් මුදල් හොරකම්කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවා වී නිවැරදි පුද්ගලයින් විෂයෙහි නින්දිත ප්රකාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විජිත හේරත් මන්ත්රීවරයා පැවසුවේය.
“කිසිම සාක්ෂියක් නැතිව මෙතන උත්තර දෙන්න බැරි නීතිඥයෙක් ගැන කතා කරනවා. සුනිල් වටගල නීතිඥවරයා වෘත්තීය සමිතිවල නඩුවලට පෙනි ඉන්නේ සත පහක් අය කරන්නේ නැතිව නොමිලේ.”
“තමන්ගේ කට හැකර වාචාලකම් මාතර වැල්ලට ගිහින් තියාගන්න නම් හොඳයි”
“මාතර රැස්විමට රැස්විමට සෙනග ගේන්න බස්වලට දුන්න සල්ලිවලින් බාගයක් හොරකම් කළා කියලා ඒ ගොල්ලන්ගේ මන්ත්රීවරු ඇවිත් අපටනම් කියනවා.”
“නුවර රැස්වීමෙදිත් මන්ත්රීවරයෙක් බැනලා තිබුණා මාතර රැස්වීම හරියට කළේ නෑ කියලා. දීපු සල්ලි ටික බාගයක් හොරා කෑවා සෙනග ගෙනාවෙ නෑ කියලා.”
“තමන්ගෙ කුණු බොරුවට ඇදගන්න හදන්න එපා. බොරුවට අභූත චෝදනා නගන්න එපා. සුනිල් වටගල නීතිඥවරයා වෘත්තීය සමිතිවල නඩුවලට පෙනී ඉන්නේ ශත පහක මුදලක් අය කරලා නෙමෙයි…”
විජිත හේරත් මන්ත්රීවරයා අවධාරණය කළේය.







