මාස 05ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 03ක් මාස 3කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (05) නියෝග කළේය.
මහාධිකරණය මෙසේ මාස 03ක් සඳහා තහනම් කරනු ලැබුවේ ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි දින 7ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125 වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පුය.
මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු පිළිබඳ ලද පැමිණිල්ලකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය කොළඹ මහාධිකරණය විසින් නිකුත් කළේය.







