විස්සයි 20 අවසන් ලෝක කුසලාන අවසන් මහා තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායම අපරාජිතව පහසු ප්‍රවේශයක් ලබා ගත්තේය.
ඒ මෙතෙක් තරගාවලිය තුළ දැවැන්ත සටන්කාමීත්වයක් ප්‍රකට කරමින් අවසන් පූර්ව වටයට පිිවිසි මි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ළදරුවන් සේ අසරණ කරමිනි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 56කට දැවී ගියේය. පන්දු 67ක් ඉතිරිව තිබිය දී එක් කඩුල්ලක් පමණක් දැවී දකුණු අප්‍රිකානුවෝ තරගය නිමා කළහ.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරගයකට තරම් නොවන බව පෙන්වන ආකාරයේ දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රකට කෙරුවේය. දකුණු අප්‍රිකානුවන් පූර්ණ අධ්‍යයනයකින් පසු පැමිණ සැලසුම් නිසි ලෙස ප්‍රායෝගීක කළ ප්‍රභල ක්‍රිකට් වෘත්තිකයන් පිරිසක් බව ලෝකයට පෙන්වූයේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදියාට තරගය පහසු නොවන බව පෙන්වා දෙමිනි.
මේ 2024 විස්සයි 20 ලෝක කුසලානයේ මුල්ම අවසන් පූර්ව තරගය වූයේය. ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදිම තේරූහ.
ලෝකය දුටුවේ විහින් හෙණ ගෙඩියක් ස්වකිය හිස මත තබා ගත් ඇෆ්ගනිස්ථානුවන් ය. ක්‍රිඩා පිටියට එනවාට වඩා වේගයෙන් ඇෆ්ගන් පිතිකරුවෝ ක්‍රීඩාගාරයට ගියහ.
රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 3කි. ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 2කි. ගුල්බඩින් නබී ලකුණු 09කි. අස්මතුල්ලා ඕමාර්සායි ලකුනු 10කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය.
මෙහොමඩ් නබී ලකුණු ලැබුවේ නැත කණ්ඩායමට වැඩිම ලකුණු පැමිණ තිබුනේ අතිරේක ලකුණු වශයෙනි. අතිරේක ලකුණු 13කි. ඒ 13 අඩු කළ විට ඇෆ්ගන් ක්‍රීඩකයින් 11 දෙනාම ලබාගෙන තිබුනේ ලකුණු 43කි. පන්දු ඕවර 11.5ක් තුළ මුළු කණ්ඩායම ම දැවි යන්නේය.
දකුණු අප්‍රිකානු සෑම පන්දු යවන්නෙක්ම ස්වකීය ඉලක්කය හඳුනාගෙන තිබිණී. මාර්කෝ ජෙන්සන් ලකුණු 16 ට කඩුළු 03කි. ටබ්රයිස් ෂම්සි විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු පන්දු 11ක් ( ඕවර 1.5) යවා ලකුණු 06කට කඩුළු 03ක් ලැබුවේය. ඇන්රිච් නොට්ජ් පන්දු ඕවර 3ක් යවා ලකුණු 7කට කඩුළු 2කි. කගිසෝ රබාඩි නිලකුණු පන්දු ඕවරයක් ද සමග පන්දු ඕවර 3ක් යවා ලකුණු 14කට කඩුළු 2කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන් ඩි කොක් පමණක් ලකුණු 5කට දැවී ගියේය. කඩුල්ල ලබා ගත්තේ ෆසාල් හක් ෆාරුකී ය. රීසා හෙන්ඩ්රිකිස් සහ නායක ඒඩ්න් මාක්රම් අනුකම්පා විරහිත ප්‍රහාරයක් සමග පන්දු ඕවර 8.5ක් තුළ ගරගය නිමා කලහ.
රීසා හෙන්ඩ්රක්ස් පන්දු 25ක දී ලකුණු 29කි. ඒඩන් මාක්රම් පන්දු 21ක දී ලකුණු 23කි. මුළු තරගයම පන්දු ඕවර 20යි පන්දු 4කි. තරගයේම රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 116කි.
ඇෆ්ගනිස්ථානය සිය සටන්කාමි ගමන සිල්ලරට නිමා කර තරගාවලියෙන් ඉවත් වන්නේය.
දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයට අපරාජිතව ප්‍රවේශ වන්නේය.