දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම හා උතුරේ ධීවරයින් සතු මත්ස්‍ය සම්පත කොල්ල කැම වහාම නවතා දෙන ලෙස බලකරමින් යාපනයේ ධීවර සමීති 11 ක් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (18) විරෝධතාවයක නිරත වූහ.
ධීවර සමීති නියෝජිතයන් කියා සිටියේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර සිං මෝදි තුන් වන වරටත් තේරී පත් වී සිටින නිසා ඔහු සමග සාකච්ඡා කොට වහාම මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන ලෙසයි.

ඉන්දිය ධීවරයින්ගේ පැමිණීම නිසා උතුරේ ධීවරයින්ට සතිකකට රුපියල් කෝටි 40 ක පමණ මත්ස්‍ය අස්වැන්නක් අහිමි වන බවත් එම ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා නිසා මත්ස්‍ය පැටවුන් හා බිත්තර විනාශ වීම පමණක් නොව මුහුදු පැලෑටි විනාශයක්ද සිදු වන බවත් යාපනයේ ධීවර සමිති නියෝජිතයෝ ඉන්දීය බලධාරීන්ට පෙන්වා දුන්හ.
මේ අනුව බලන විට ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය නිසා කෙටි කාලීන හා ඉතා දීර්ග කාලින වශයෙන් විනාශයන් රැසක් සිදුවන බවද ඔවුන් සඳහන් කොට ඇත.
ධීවර සමීති නියෝජිතයින් විසින් රැගෙන එන ලද ඔවුන්ගේ මෙම ඉල්ලීම් හා කරුණු ඇතුළත් විශේෂ ලිපිය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් විසින් ඉන්දීය රජයට යැවීම පිණිස බාර ගෙන තිබේ.
ඊයේත් ධීවර කොල්ලය ක්‍රියාත්මකයි!
යාපනයේ ධීවරයින් ඉන්දිය ධීවර කොල්ලයට එරෙහිව යාපනය නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටකර උද්ඝෝෂණ පැවැත්වූ ඊයේ දිනයේත් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවට බලහත්කාරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
නීති විරෝධී ලෙස උතුරු මුහුද ආක්‍රමණය කරමින් මෙම ඉන්දීය ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් කිලෝ ග්‍රෑම් 700 ක් පමණද ඔවුන්ගේ දැල් හා ධීවර ආම්පන්නද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත්තේය.
අත් අඩංගුවට ගත් මසුන් මුහුදට දමා විනාශ කිරීමට කටයුතු කළ නාවික හමුදාව ඔවුන්ගේ යාත්‍රාව සිය බාරයට ගෙන ධීවරයින් හතර දෙනා කන්කසන්තුරේ වරායේදී ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී ඇත.
ධීවර පරීක්ෂක නිලධාරීන් ඔවුන්ව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
නාවික හමුදාව විසින් 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි හතරක් සහ ඉන්දීය ධීවරයින් එකසිය අසූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.
යාපනයේ ධිවයින් කියන්නේ මේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දහස් ගණක් වූ ආක්රමණික ධීවර බෝට්ටුවලින් ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණක් බවය.










