සියලුම ප්‍රශ්න මතුවන්නේ පාර්ලිමේන්තුව නිසා බවත් තමන් පාර්ලිමේන්තුවේ නොසිටියානම් ( ගුවන්තොටුපල පෝටර්ට) හොඳටම කෙළින බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පැවසුවේය. මෙවැනි සිද්ධි අනන්ත සිදුවන බවත් මේ තරම් මාතෘකාවක් අතිවූයේ පාර්ලිමේන්තුව නිසා බවත් ඔහු කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළේ පසුගිය 14 වැනිදා කටුනායක ගුවන් තොටුපලේ සේවකයෙකුට පහර දී කළහකාරී ලෙස හැසිරුන සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපල පොලිසියට කට උත්තරයක් ලබා දීම සඳහා පැමිණ මාධ්‍යයට කරුණු දැක්වීමෙන් පසුය.
මාධ්‍යයට ඔහු පැවසුවේ තමන් අතින් සිද්ධ වූයේ සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක් බවය. එය පිළිගන්නා බව ද හෙතෙම පැවසුවේය. පාර්ලිමේන්තුවේ නොසිටියානම් හොඳටම කෙළින බව රාජ්‍ය ඇමතිවරයා කියන්නේ ඉන් පසුවය.
ප්‍රසන්න රණවීර විසින් ගුවන්තොටුපලේ පෝටර්වරයෙකුට පහර දි ආරක්ෂක අංශවලට බැණ වදිමින් කළහකාරී ලෙස හැසිරෙන්නේ විදේශගතවන සිය බිරිය ඇරළවීමට සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සමග ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදි ය.
විධිමත් අවසර පත්‍රයක් රහිතව ගිනි අවි රැගත් ආරක්ෂකයින් සමග ප්‍රසන්න රණවීර ගුවන් තොටුපල වෙත ඇතුළුවීමට ගිය අවස්ථාවේ දී ගුවන්තොටුපල ආරක්ෂක අංශ එය වළක්වා තිබිණි. එවිට ඔහු ඔවුන්ට බැනවැද තිබිණි. ගාස්තු මදි බව කී පෝටර්වරයෙකුට පහර දී තිබිණි.
රාජ්‍ය ඇමතිවරයා පෝටර්වරයාට පහර දෙන දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය විය.







