රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ.
අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් පත්‍රය දක්වයි.
ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගත යුතු බව සිංහල අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වේ.
වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය මධ්‍යම රාත්‍රී 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු වේ.








