ශ්‍රී ලංකාවේ වාර්ෂික රිය අනතුරු හේතුවෙන් සිදුවන සමස්ථ ආර්ථික හායනය රටේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3 සිට 5 දක්වා ප්‍රමාණයක් බවත් එය දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුවේ සම ලේකම් සහ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පවසයි.
සජීවී රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති දත්තවල අවමයට ගොස් සිදුකරනු ලබන ගණනය කිරීමට අනුව සිදුවන මේ ආර්ථික හායනය සෞඛ්‍ය පද්ධතියට සිදුවන වියදමට එපිටට ගොස් සමස්ත සමාජ ආර්ථික ව්‍යසනයම රූපණය කරන දත්තයක් ලෙස ප්‍රකාශ වන බවය.

“ පසුගිය අවුරුද්දේ රිය අනතුරු නිසා මිය ගිය ගනන 2280ක් . බරපතල තුවාල ලැබූ අය, ජීවිත කාලයම ආබාධිතවන අය, මේ වගේ සිව් ගුණයකට වැඩියි. දැඩි සත්කාර ඒකකවල වැඩි ප්‍රමාණයක් උත්සව කාලයෙදි පිරී යන්නේ රිය අනතුරු වින්දිතයන්ගෙන්.”
“මෙය සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බෑ. මේ අවුරුද්දේ අප්‍රේල් 2 දක්වා පමණක් 566ක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වෙලා තියනවා. අඩුම තරමින් 2000ට වැඩි පිරිසක් බරපතල තුවාල ලබලා තියනවා. බොහෝ විට මේ අනතුරු වලක්වාගත හැකි අනතුරුයි. ඛේදවාචකය වන්නේ එයයි. “
මේ සඳහා අති විශාල මුදලක් රටක් වශයෙන් අප වියදම් කරනවා. අපට ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ලංකාවෙ දළ ජාතික නිශ්පාදනයෙන් සියයට තුනක් පහක් අතර ප්‍රමාණයක ආර්ථික හායනයක් රිය අනතුරු නිසා සිදුවනවා කියලා. තේරුම් ගත යුත්තේ මේ ආර්ථික ව්‍යසනය සිද්ධ වෙන්නේ සෞඛ්‍යය අංශයට විතරක් නොව බවයි.
ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව රිය අනතුරු නිසා අපට වාර්ෂිකව හානිවන ප්‍රමාණය ඩොලර් වලින් බැලුවොත් ඩොලර් බිලියන 2.3ක් පමණ ප්‍රමාණයක්. රුපියල් බිලියන 730ක්.
මේ වර්ෂයේ වාර්ෂිකව සෞඛ්‍යයට වෙන් කරලා තියන ප්‍රමාණය රුපියල් බිලියන 410ක්. ඉන් වැඩිම කොටසක් එක්ක රුපියල් බිලියන 730ක් අපි රිය අනතුරු නිසා ආර්ථිකව හායනය කරගන්නවා. “
ඒ මිල ගණනය වන්නේ වින්දිතයන් සඳහා ප්‍රතිකාර වියදම, මිය ගිය අය නිසා සිදුවන කුටුම්භය මුල් කරගත් සමාජ ආර්ථික හායනය, රිය අනතුරු නිසා වාහනවලට සිදුවන හානි පූරණ, සදාකාලික ආබාධිත වීම් නිසා සමාජයට දරන්න වන දීර්ඝ කාලීන ආර්ථික පිරිවැය ඇතුළු සමස්ථ අගයක් ලෙස බව ද වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුව අවධාරණය කරන්නේ මේ දැවැන්ත සමාජ ආර්ථික ව්‍යසනය වළක්වා ගැනීම සඳහා රිය අනතුරු වළක්වා ගැනීමේ කටයුත්ත පොලිසියට හෝ සෞඛ්‍ය අංශවලට පමණක් හුදකලාව සිදුකළ හැක්කක් නොවන බවය.
මිනිසා විසින් සිදුකරන දැවැන්තම සමාජ ආර්ථික ව්යසනයවන රිය අනතුරු වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක පරිමාණයේ බලයක් සහිතව, වගකිව යුතු සියලු පාර්ශවයන් එක්ව කරන සාමුහික ක්‍රියාවලියකින් ගොඩනැගෙන ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක් ජාතියට අවශ්‍ය බව මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටු කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පවසන්නේය.







