මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට නව තාක්ෂණය යොදා ගනිමින් ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා වූ විශේෂ ව්‍යාපෘතියක් අද (02) පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ ඇතුළු පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ වූයේය.

මීට පෙර සාමාන්‍ය ආකාරයෙන් කඩදාසි භාවිතා කරමින් මෙම සෙල්ලිපියේ ස්පර්ශ ලාංඡන පිටපත් කර ගත් බවත්, එයින් කියවීමට හැකි වූයේ සියයට හතළිහක පමණ අක්ෂර ප්‍රමාණයක් බවත් පුරාවිද්‍යා නිලධාරීහු කීහ.
ශ්‍රී ලංකාවේ පළමුවරට ලෝකයේ නවීන තාක්ෂණය භාවිතා කරමින් දිඹුලාගල සෙල්ලිපිය නැවත පිටපත් කරන බවත්, ඒ සඳහා ක්‍රමවේද තුනක් අනුගමනය කරමින් දින තුනක් මෙම ස්ථානයේ රැඳී සිටිමින් අදාළ අක්ෂර පිටපත් කර සෙල්ලිපිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිදුකරන බවත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ සඳහන් කළේය.
දිඹුලාගල සෙල්ලිපිය නූතන තාක්ෂණය ඔස්සේ ඡායාරූප කරන බවත්, ඒ සඳහා ඉන්දියා ඡායාරූප තාක්ෂණික ක්‍රමවේදය සහ ඩ්‍රෝන කැමරා තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන බවත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිලධාරීහු සඳහන් කළහ.
2023 ඔක්තෝබර් 26 වෙනිදා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙම සෙල්ලිපිය සොයාගැනීමෙන් අනතුරුව මාසයකට අධික කාලයක් පුරාවිද්‍යා නිලධාරීන් එහි රැඳී සිටිමින් සෙල්ලිපියේ අක්ෂර පිටපත් කරගනු ලැබූහ.

පූර්ව බ්රාහ්මීය අක්ෂරවලින් කොටා ඇති මෙම සෙල්ලිපියෙන් ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස්වනු ඇති බවට පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීහු මත පල කළහ. මෙම සෙල්ලිපිය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් විද්වත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මීට මාසයකට පමණ ඉහතදී කරුණු දහයක් ඔස්සේ එම සෙල්ලිපියේ අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශ කිරීමට මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
දිගින් අඩි 50 කින් සහ උසින් අඩි 9 කින් යුත් මෙම අති දැවැන්ත සෙල්ලිපිය,පිළිබඳ පසුගිය කාලය පුරා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාම දැඩි කතාබහක් ඇති කළේය. සෙල්ලිපියේ අර්ථකථනය මෙතෙක් හෙළිදරව් නොවන බවටද විවිධ පාර්ශ්ව චෝදනා කළහ.
දිඹුලාගල සෙල්ලිපිය ලොව නවීන තාක්ෂණය ඔස්සේ දෙවැනිවර කියවීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යාඥ කන්තලේ සුමිත්ත හිමියන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ සහකාර අධ්යක්ෂ බුද්ධි නාගොඩවිතාන ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දහයකට අධික නිලධාරී කණ්ඩායමක් සහභාගි වී සිටියහ.
මෙම අවස්ථාවට වැඩම කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෙම සෙල්ලිපියක් සම්පූර්ණයෙන්ම පිටපත් කරමින් එහි සැබෑ අන්තර්ගතය රටට හෙළිදරව් කරන ලෙසත්, ඉන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය ලැබෙන පරිදි එම ස්ථානයට ළඟාවීමට මාර්ගයක්, සෙල්ලිපියේ ආරක්ෂාවට ආවරණයක් සැකසීමත් අදාළ බලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බවයි.







