මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පිටවානක් අලුත්වැඩියා කරන බවට පවසා සෙවණපිටිය ප්‍රදේශයේ වැව් හතරක ජලය ඉකුත් පළවෙනිදා සිට මේ වනවිට නිරපරාදේ කුඩාඔය අමුණට මුදා හැරීම හේතුවෙන් තම ගම්මානයේ ධීවර ජනතාව, ගොවීන්, ගවයන් ඇතුළු විශාල පිරිසක් දැඩි ඇසුරුතාවට පත්ව ඇති බවත්, නෙළුම්වැව පිහිටි උණුවතුර ලිදකට ගවයකු වැටී මියගොස් ඇති බවත් නෙළුම්වැව ගම්වාසීහු සඳහන් කරති.
ඉකුත් පළවෙනිදා සිට මේ දක්වා නෙළුම්වැව 1, නෙළුම්වැව 2, රිදිපොකුණ, බොරවැව. යන වැව්වල ජලය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සෙවනපිටිය කොට්ඨාස කළමණාකාර කාර්යාල එකවර මුදාහැරීම හේතුවෙන්,ගම්මාන තුනක පවුල් 1500 කට ආසන්න පිරිසක් පානීය ජල අර්බුදයට සහ දියනෑමට, මෙන්ම විවිධ අසීරුතාවට මුහුණ පා ඇති බව එම ගම්වාසීහු පෙන්වා දෙති.
අඩි 123 ක් දිගින් යුත් පිටවානක් අලුත්වැඩියා කරන බවට පවසා මෙම ජලාශ හතරෙම ජලය මුදාහැර තිබෙන බවත්, මේ මස 30 වෙනිදා, යල කන්නයේ වී වගා කිරීමට මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර මෙම තත්ත්වය නිසා වැව් හතරට ජලය එක් රැස් කරගැනීමට නොහැකිවීමෙන් ගොවිපවුල් 1500 කට ආසන්න පිරිසකට වී, හා අනෙකුත් බෝග වගා කිරීමට නොහැකි මට්ටමක් උද්ගත වනු ඇති බවත් ගොවීහු කියති.
වැව් හතරෙම ජලය එකවර මුදා නොහැර මෙම පිටවාන අලුත්වැඩියා කිරීමට ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට හැකියාව තිබූ බව ගොවීහු පෙන්වා දෙති.
ඉදිරි යල කන්නේ වී වගා කිරීමට අවශ්‍ය ජලය, සහ පානීය ජල ව්‍යාපෘති සඳහා ජලය ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඉතා කඩනිමින් මෙම වැව්වලට ජලය පිරවීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
අප මෙම ගම්මානවල ජනතාවට අත්ව ඇති ඉරණම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සෙවනපිටිය කොට්ඨාස කළමණාකාර විමල් ජයන්තගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වසර ගණනාවකට පසු ජනාධිපති සංවර්ධන අරමුදලින් ලැබුණු රුපියල් ලක්ෂ 50 ක වියදමින් පිටවාන අලුත්වැඩියා කිරිමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ දැනුවත් කිරීමට ධීවර සංවිධාන සහ ගොවි සංවිධාන කැඳවා තිබුණද ඒ සඳහා නිලධාරින් තිදෙනෙකු හැර කිසිවෙකුත් නොපැමිණිය බවත්ය,

වැව් හදා ඇත්තේ කෘෂිකර්මාන්තයට වතුර දීමට බවත්. මාළු ව්‍යාපෘති සඳහා නොවන බවත්, කිසිදු පානීය ජල අර්බුදයක් මේ වනවිට හටගෙන නොමැති බවත්, පත්තරේ බැරි නං ටීවී එකේ ලොකුවට දාගන්නා ලෙසත් සෙවන පිටියේ මහවැලි කොට්ඨාස කළමනාකරු පැවසුවේය.








