දැනට දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයට අනුව ප්‍රකාශ වී තිබේ.
එම විශ්ලේෂණය ප්‍රකාරව ගෘහ විදුලි පරිභෝජනයේ සමස්ථ මධ්‍යස්ථ අගය ගත් විට ශ්‍රි ලංකාවේ නිවාස ඒකකයක් දරන විදුලි බිල දකුණු ආසියාතික වෙනත් රටවල නිවාස ඒකකයක් දරන විදුලි බිලට වඩා 2.5 සිට 3 ගුණය දක්වා වැඩි බව තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික තීක්ෂ්ණ බුද්ධි වේදිකාව වන PublicFinance.lk හි ප්‍රකාශයට පත් කරන ලද, Verité Research විසින් සිදු කරන ලද මෙම විශ්ලේෂණයේ දී වර්ෂ 2024 ආරම්භයේදී ඒකක 100ක්, 200ක් හෝ 300 ක් පරිභෝජනය කරන විට කුටුම්භවල විදුලිය සඳහා අය කිරීම සොයා බලා තිබිණි.
ගණනය කිරීමේදී සැපයුම්කරුගේ ගාස්තු පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තුළ අතිරේකව අය කෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි රජයේ බදු ඇතුළත් නොවීය.
කලාපයේ දෙවන වැඩිම ගෘහ විදුලි ගාස්තු අය කරනු ලබන්නේ පකිස්ථානයේය. එහෙත් එම ගාස්තුව ශ්‍රී ලංකාව අය කරන ගාස්තුවට වඩා සියයට 50ක් එනම් අඩක් අඩුය.
ඒකක 300ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකරන මුදල පකිස්ථානයට වඩා 97%කටත් වැඩිය.
ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළට කරන ලද කැපවීම මත ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ දමා ඇත.
මෙම මාසය සඳහා (2024 පෙබරවාරි) ගාස්තු අඩු කිරීමක් සැලසුම් කර ඇති අතර එමඟින් විදුලි ගාස්තු 4% කින් හෝ ඊට අඩුවෙන් අඩුවේ. එම අඩුවීම බලපෑමක් ඇති කිරීමට නොහැකි තරම් කුඩාය. එබැවින් එම අඩු විමෙන් පසුත් ශ්‍රී ලංකාවේ කුටුම්භයන් දකුණු ආසියානු කලාපයේ විදුලිය සඳහා ඉහළම ගාස්තු ගෙවනු ඇත







