ජයකාන්ත ලියනගේ – බළපිටිය
අම්බලන්ගොඩ හා බළපිටියේ පාසැල් දරුවන්ගේ ක්‍රිකට් හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලෝකයේ ජනප්‍රිය රටවල ක්‍රිකට් තණතීරු වලට ගැලපෙන පරිදි බළපිටියේ කොස්ගොඩ ඉදිකරන ලද ක්‍රිකට් තණතීරු ත්‍රිත්වය හා ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ශතකය හිමිකරගත් ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස කොස්ගොඩ දී විවෘත කෙරුණි.

කොස්ගොඩ පදිංචි දැනට කැනඩාවේ රැකියාවේ නියුතු කුළුණ ද සොයිසා ගේ පෞද්ගලික ධන පිරිත්‍යාගයෙන් මෙම ක්‍රිකට් තණතීරු හා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකර තිබේ. විවෘත කිරීමේ අවස්ථාවට කුළුණ ද සොයිසා වෙනුවෙන් බිරිය හා දරුවන් දෙදෙනා සහභාගී විය.
කුළුණ ද සොයිසාගේ පුතණුවන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන අතර ඔහු සහ අම්බලන්ගොඩ හා බළපිටියේ පාසැල් දරුවන්ගේ පුහුණු වීම් වෙනුවෙන් මෙම තණතීරු හා ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකර තිබේ.
ගෘහස්ථ ක්‍රීඩාංගණය, බළපිටිය රේවත ජාතික පාසැලේ ක්‍රිකට් පුහුණු කරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අභාවප්‍රාප්ත අංජුල මෙන්ඩිස් වෙනුවෙන් නම්කර ඔහුගේ බිරිද ලවා විවෘත කිරීමටද මෙහිදි කටයුතු කෙරුණි.
1950 – 1980 අතර කාලයේ බැට්මින්ටන් ක්‍රීඩාවේ ජනප්‍රිය ජාතික තලයේ ක්‍රීඩකයෙකු වූ බළපිටියේ ලුවී කරුණාරත්නගේ ආරාධනයෙන් සිදත් වෙත්තමුණි මෙම අවස්ථාවට සහභාගී විය. ලුවී කරුණාරත්නගේ පුතණුවන් වන 16 වතාවක් ශ්‍රී ලංකාවේ ජාතික බැට්මින්ටන් ශූරතාවය හිමිකර ගත් ඔලිම්පික් තරගාවගි ත්‍රිත්වයක් නියෝජනය කළ නිලූක කරුණාරත්නද මෙම අවස්ථාවට සහභාගී විය.
සිදත් වෙත්තමුණි තණතීරුවේ ප්‍රථම පන්දුවට පහර දෙමින් තණතීරුව විවෘත කරන ලද අතර ඔහුට පන්දු යැවීම බැට්මින්ටන් ක්‍රීඩක ලුවී කරුණාරත්න විසින් සිදුකරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ සිදත් වෙත්තමුණි මෙසේ කීය.
මට දකුණේ බළපිටියට සම්බන්ධයක් තිබෙනවා. මගේ මවගේ ගම් ප්‍රදේශය නිසාවෙන් ආසාවෙන් මෙම ආරාධනාව බාර ගත්තා. ලංකාවේ පළමුවෙන්ම ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකළේ මගේ පියා විසිනුයි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපේ රටේ විශාලතම අඩුපාඩුවක් සම්පූර්ණ කරන්නේ. නිලූක කරුණාරත්න, චාමික කරුණාරත්න වගේ ක්‍රීඩකයින් බළපිටියෙන් තව තවත් බිහි වෙන්න මේ තණතීරු හේතු වේවි.
අපි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ කාලයේ ලණු මැට්න් වලයි, සෙල්ලම් කළේ. අද ගම්වල දරුවන්ටත් යම් මට්ටමේ පහසුකම් තිබෙනවා. මේ සම්පූර්ණ කරල තිබෙන්නෙත් ඒ් වගේ අඩුවක්. තනි පුද්ගලයෙක් විසින් මේ කාර්යය කිරීම ඉතා වැදගත් වෙනවා. මේ තණතීරු වල දිනපතා වතුර දමමින් හොදින් නඩත්තු කරන්න වෙනවා. මේ වෙනුවෙන් මටත් සහභාගි වෙන්න ලැබීම සතුටක්.
ලුවී කරුණාරත්න, නීතීඥ නාරද මෙන්ඩිස්, ගුණජය සතුට පදනම වෙනුවෙන් අරුණ ද සිල්වාද මෙහෙදී කතා කලහ. ක්‍රිකට් විනිසුරු, හිටපු කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ රෝහිත නයනකාන්ත ඇතුළු පිරිසක් මෙන්ම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.







