ගැබිණි ගවයින් ඇතුළු ගවයන් 20 දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පදවිය කොට්ඨාශයේ පශු වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පදවිය පොලිසිය විසින් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පශු වෛද්‍ය නිලධාරියා කේ.එච්.එම්.ප්‍රියන්ත බන්දුසිරි වන අතර ඔහු ව්‍යාජ ලියකියැවිලි සකස් කර දි මෙම හොර හරක් ජාවාරමට සම්බන්ධ වි සිටිය දී ඔහුගේ කාර්යාල සේවකයෙක් ද සමග අත් අඩංගුවට ගෙන තිබිණි.
පශු වෛද්‍යවරයාත් ඔහුගේ කාර්යාලයේ සේවකයකු වන ඩී.ඩී.පාලිත යන අයත් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලද අතර සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණවලට බාධා නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකරුවන්ට තරයේ අවවාද කළේය.
හොර හරක් ජාවාරමට සම්බන්ද සෙසු සැකකරුවන් තිදෙනා වන වැලිසර රාගම ප්‍රදේශයේ පදිංචි කේ.මිල්රෝයි රුක්ෂාන් ප්‍රශාන්ත ඇන්තනී, එච්.ටියුඩර් ප්‍රනාන්දු සහ ජූඩ් බර්ඩීන් ෆෙරිඩ් මනිල් සිල්වා යන අය පෙබරවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
සැකකාර පශු වෛද්‍යවරයා විසින් සොරකම් කරන ලද ගැබිනි ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාජ ලේඛන නිකුත් කර ඇති බවත්, එම ලේඛන පිළිබඳ වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට (SCIB) මාරු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පලාගොස් සිටි පොලිස් කොස්තාපල් කයින්ද චන්ද්‍රසේකර නැමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.







